
අපි ජීවත් වෙන ලෝකය හරිම අපූරු තැනක්. මේ අපූර්වත්වය ඇතිවෙන්නේ අපේ ලෝකයේ ජීවත්වෙන විවිධ පුද්ගලයින් වගේම විවිධ ස්ථාන හින්දයි. ඒ ස්ථාන වලින් සමහරක් අපිට හිතාගන්න බැරි විදිහේ සිද්ධිවලට හේතුපාදක වෙලා තියෙනවා. මේ අතරින් අපිට පැහැදිලි කරන්න අමාරු එහෙමත් නැත්තම් අද් සිදුවීම් වලට තෝතැන්නක් වුන් ස්ථානත් ඕනෑතරම් තියෙනවා.
ඇත්තටම අපි අද කියන්න යන තැනත් ඒ වගේම අද්භූත තැනක්. මේ තැන පිහිටලා තියෙන්නේ ඇමරිකාවෙ. හරියටම තැන කියනවා නම් ටෙක්සාස් ප්‍රන්තයේ එල් පාසෝ වල ඉඳලා හැතැප්ම හාරසීයක් දකුණට වෙන්නයි. අපි අහල තියෙන විදිහටම මේ ප්‍රදේශය ඉතාම කර්ෂක වාලුකාවක්. මේ ප්‍රදේශයට අසන්නයෙන් පිහිටලා තියෙන්නේ සෙබායෝස් කියන කුඩා නගරයයි.
කොහොම වුනත් මේ නගරය අපි හිතේ මවාගෙන ඉන්න ඇමරිකාව සිහිපත් කරන නගරයක් නම් නෙමෙයි. බැලු බැල්මට නගරයක් කියන්නත් අමරුයි ඒ තරමටම මේ නගරයක් පාළුවට ගිය ඉතාම දුෂ්කර පළාතක්. ඒ නිසා මේ නගරයට ගිය අයෙක්ට තමන් ඇමරිකාවෙද ඉන්නේ කියලත් අමතකවෙන තරමට දුෂ්කරයි.
නිහැඬියාවේ කලාපය…
හැබැයි අපි කතා කරන්න යන්නේ මේ නගරය ගැන නම් නෙමෙයි ඊට මදක් එහාට වෙන්න තියෙන කාන්තර පෙදෙස තමයි අපේ කතා වස්තුව වෙන්නේ. කොහොම වුනත් සෙබායෝස් නගරයේ වැසියන් මේ කාන්තාර ප්‍රදේශයට කියන්නේ සෝනා ඩෙල් සිලෙන්සියෝ කියලයි. මෙහි සරල තේරුම වෙන්නේ නිහැඬියාවේ කලාපයයි. ඇත්තටම මේ නමට වඩා වෙන නමක් මේ ප්‍රදේශයට සුදුසු නැහැ කියලා මේ ලිපිය අවසාන වෙනකොට ඔබ අපිත් එක්ක එකඟවෙව්.
මේ පළාත ගැන හොයා බලපු විද්‍යාඥයින් බහුතරයක්ම කියන්නේ මහ පොලොව මත අත් විඳපු අද්භූතම තැන් සියල්ලෙම අපිකේන්ද්‍රය මේ කාන්තාර ප්‍රදේශය කියලයි. ඔබ කවදා හරි සෝනා ඩෙල් සිලෙන්සියෝ වලට ගිහින් දුරකථන ඇමතුමක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අදහස දැන්ම අත් හැරගත්තා නම් හොඳයි. මොකද මේ ප්‍රදේශය තුලදී ජංගම දුරකථන අක්‍රීයයි. එනිසා කිසිම සංඥාවක් දුරකථනයට ලැබෙන්නේ නැහැ වගේම සිග්නල් නැති ව කරන්න පුළුවන් සින්දු අහනවා වගේ දෙයක්වත් කරගන්න බැරි විදිහට දුරකථනය පිස්සු නටන්න පන්නගන්නවා. මේ කාරණය ටිකක් විශ්වාස කරන්න අමාරුයි තමයි, හැබැයි මේ සිද්ධියට සෝනා ඩෙල් සිලෙන්සියෝ වලට ගිය හැමකෙනෙක්ටම වගේ මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා.
අද්භූත සෝනා ඩෙල් සිලෙන්සියෝ…

දුරකථනවලට අමතරව රේඩියෝවක්වත් මේ ප්‍රදේශයේදී වැඩ කරන්නේ නැතිවෙනවා කියලයි සෝනා ඩෙල් සිලෙන්සියෝ ගැන පරීක්ෂා කරපු පිරිස් සඳහන් කරන්නේ. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ ප්‍රදේශය චිත්‍රපටිවල පෙන්වන පාළු කාන්තාර ප්‍රදේශවලටත් වඩා අද්භූතයි කියලයි . මේ සේරටම වඩා අද්භූත සිද්ධිය නම් මේ ප්‍රදේශයේදී මාලිමාවෙන් උතුරු දිසාව හොයාගන්න බැරිවීමයි. ඒ සෝනා ඩෙල් සිලෙන්සියෝ වලදී මාලිමාවේ කටවු වේගයෙන් කැරකෙන්නට පටන් ගැනීම නිසයි.
මේ පළාතට ඇතුළුවෙනවාත් එක්කම මාලිමාව අමුතුම විදියට හැසිරෙන්න පටන්ගන්නවා කියලයි සෝනා ඩෙල් සිලෙන්සියෝ ගැන පරීක්ෂණ කරපු හැම පුද්ගලයෙක්ම සදහන් කරලා තියෙන්නේ. ඒ වගේම පළාත පුරාම අමුතු ජාතියේ ගල් වලින් පිරිලයි තියෙන්නේ. අමුතුයි කියලා අදහස් කළේ ඒ ගල් පළාත පුරාම විසිරිලා ගිහිල්ලා තියෙන විදිහ හින්දයි. මොකද ඒ සියල්ල කිසියම් විදිහකට බලපෑමක් නිසා පිහිටලා තියෙනවා එහෙමත් නැත්තම් කිසියම් පුද්ලයෙක් වුවමනාවෙන්ම ගිහින් දාලා තියෙනවා කියලයි මේ ප්‍රදේශ නිරීක්ෂණ කරන ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ.
සෝනා ඩෙල් සිලෙන්සියෝ ගැන කාලයක් තිස්සේ අධ්‍යනය කරපු කෙනෙක් වෙන ඩේවිඩ් චිල්ඩ්රස් කියන විදිහට මේ ප්‍රදේශයේ ජීවත් වෙන සතුන් ටෙක්සාස් වල තියෙන අනෙකුත් කාන්තාර වල ජීවත් වෙන සතුන්ට වඩා වෙනස්. මේ සත්තු තරමක විකෘති ලක්ෂණ පෙන්නුම් කරනවා කියලත් චිල්ඩ්රස් සඳහන් කරනවා. කොටින්ම කියනවා නම් මේ ප්‍රදේශයට අඩිය තිබ්බ ගමන් මොකක්දෝ අමුත්තක් ඇගට දැනෙවා කියලයි චිල්ඩ්රස් කියන්නේ.
ෆ්‍රැන්සිස්කෝ සොයා ගත් නිහැඬියාවේ කලාපය….
නිහැඬියාවේ කලාපය මුලින්ම සොයා ගත්තේ 1930 දශකයේ මෙක්සිකානු ජාතික ගුවන් නියමුවකු වුන ෆ්‍රැන්සිස්කෝ සරාබියායයි. මේ ප්‍රදේශය ගැන මොහු ප්‍රකාශ කර සිටියේ මේ ප්‍රදේශයට ඉහලින් තමන්ගේ ගුවන් යානය පියාසර කරද්දි හිටි හැටියේම ගුවන් යානයේ රේඩියෝව ක්‍රියා විරහිත වී ගුවන් යානය පාලනය කරගැනීමට නොහැකි වුනා කියලයි. මේ ගැන විශාල වශයෙන් පරික්ෂණ කළ අයෙකු වගේම පිටසක්වල ජීවය සෙවීම වෙනුවෙන් කැපවන්නකු වෙන රූබන් යුරියාටේ නම් කියන්නේ අමුතුම කතාවක්.
“මේ කාන්තාර ප්‍රදේශ භූමියේ තියෙන බර්මුඩා ත්‍රිකෝණයයි. ඇත්තටම ඒක පිහිටලා තියෙන ස්ථානයයි දිහා බැලුවොත් බර්මුඩා ත්‍රිකෝණයයි මේ කාන්තාරයයි එක කෙලින්මයි පිහිටා තියෙන්නේ” මේ බව සනාථ කරමින් ඔහු ලෝක සිතියම මඟින් තමන්ගේ තර්කය සනාථ කිරීමට සමත් වී ඇත.
ඒ වගේම යුරියාටේට අනුව මේ සරළ රේඛාවට තවත් දික් කළ විට එය ඊජිප්තුවේ පිරමීඩ වල පිහිටීමටද සමාන්තර බවට පෙනීයනවා. ඒත් එක්කම යුරියාටේ මතු කරණු ලබන කාරණය වන්නේ මේ සියල්ලේ යම් කිසි අද්භූත සම්බන්ධතාවයක් පවතින බවයි.
මහාචාර්ය සාරා සීගර් කියන්නේ පෘථිවියේ විවිධ තැන් වල තියෙන ගුරුත්වාකර්ෂණය වෙනස්වෙන්න පුළුවන් කියලයි. ඒ අනුව මෙම සිදුවීම වෙන්න පුළුවන් කියලත් ඇය විශ්වාසය පළකරනවා. 1970 ජූලි 11 වැනිදා මේ නිහැඩියාවේ කලාපය තුල අමුතුම දෙයක් සිද්ධවෙනවා. ඒ ඇමරිකාවේ ගුවන් හමුදාව අත්හදා බලන මිසයිලයක් හිටි හැටියේම මේ ප්‍රදේශයට කඩා වැටීම නිසයි. කොහොම වුනත් කිසිම මිනිස් වාසයක් නැති නිසා මිසයිලය කඩා වැටීමෙන් කිසිම කෙනෙකුට හානියක් සිද්ධවුනේ නැහැ. ඒත් මේ මිසයිලය පතිත වන තැන විදිහට ලකුණු කරලා තිබුනේ එහෙමත් නැත්තම් ඉලක්කය වුනේ හැතැප්ම හත්සීයක් දුරින් පිහිටලා තිබුණ නිව් මෙක්සිකෝ වල වයිට් සෑන්ඩ් මිසයිල් පර්යේෂණ කලාපයයි.
හැබැයි කාටවත් හිතා ගන්න බැරි විදිහට මේ මිසයිලය තමන්ගේ ඉලක්කයත් පහුකරගෙන හැතැප්ම සිය ගණනක් එහායින් පිහිටි නිහැඩියාවේ කලාපයටයි පතිත වුනේ. මේ සිද්ධිය පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් නොදුන්නත් මේ ගැන තාක්ෂණවේදීන් කියා සිටියේ කිසියම් දෙයක් හෝ හේතුවක් නිසා මේ මිසයිලය නිහැඬියාවේ කළාපය දෙසට ආකර්ෂණය වුනා කියලයි. කොහොම වුනත් මේගැන එවකට නාසා ආයතනයේ නිල ප්‍රකාශක පවා කියා සිටියේ මිසයිලය ඒ වගේ හැතැප්ම සිය ගණනක් ඉලක්කය පහුකරලා යෑම හිතා ගන්න බැරි දෙයක් කියලයි. ඒ කියන්නේ කොළඹට එල්ල කරපු මිසයිලයක් ගාල්ලට පතිත වුනා වගේ දෙයක් තමයි මෙහිදී සිද්ධවෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ සිදුවීමක් නිකම්ම නිකම් අහඹුවක් කියලා හිතන්න ටිකක් අමාරුයි.
කොහොම වුනත් ඇතැම් පර්යේෂකයන් කියන විදිහට නම් මේ ප්‍රදේශයට මේ මිසයිලයට අමතරව තවත් දේවල් ඇදිලා ඇවිත් තියෙනවා. පිටසක්වල ජීවින් ගැන සොයා බලන පිරිස් කියන්නේ වර්ෂ දහස් ගණනාවක ඉඳන් අස්වභාවික විදිහට උල්කාපාත විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයට කඩා වැටෙනවා කියලයි.
ඒ නිසාම විද්‍යාඥයින් කියන විදිහට මේ නිහැඬියාවේ කලාපය තුල පෘථිවියේ අනෙකුත් ස්ථාන වලට වඩා වෙන් ඒ වගේම බලවත් ශක්තියක් ගැබ්වෙලා තියෙනවා කියලයි. ඒ නිසාම පෘථිවියේ වායුගෝලයට ඇතුළුවෙන උල්කාපාත අභ්‍යාවකාෂ සුන්බුන් මේ ප්‍රදේශයට ඇදගන්නවා කියලයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.
ඒ වගේම මේ ප්‍රදේශය තුල පෘථිවියේ අනෙක් ප්‍රදේශවලට වඩා ගුරුත්වාකර්ශනය බලවත් කියලා පර්යේෂකයින් සනාථ කරලා තියෙනවා. කොහෙම වුනත් මේ කළාපයට අසාමාන්‍ය විදිහට උල්කාපාත කඩා වැටීමට හේතු වෙන්නේ කුමක්ද කියලා කිසිම විදිමත් පර්යේෂණයක් කෙරිලා නැහැ කියලයි අනාවරණය වුනේ. ඒ නිසා මේ නිහැඬියාවේ කලාපය තුල ඇත්තටම සිද්ධවෙන්නෙ මොකක්ද කියලා හරියටම දැනගන්න තවත් කාලයක් බලාගෙන ඉන්න සිදුවෙයි.
නුවන් සේනාරත්න
