ඩබ්ලිව් ජයසිරි සුනිල් ගැන තැබූ සහෘද සටහන

ඩබ්ලිව් ජයසිරි කියන්නේ අපේ රටේ බිහිවුණු ප්‍රතිභාපූර්ණ කලා කරුවෙක්.එතුමා රංගනයෙන් වගේම ගී පද රචනයෙන් අපේ සිත් මත තැබූ නොමැකෙන සටහන් බොහෝමයි. උදුම්බරා ගීතය එසේ අපේ හිත්මත සදාකාලික මතක තැවරූ ඔහු රචනා කළ සම්මානනීය ගීතයක්. විවිධ චරිත හරහා අපට හමුවන ඔහු ඕනෑම දෙයක් කෙළින් කතා කරන සෘජු මිනිසෙක් ලෙසටත් ප්‍රකටයි.

පසුගියදා අප අතරින් සමුගත් සංගීතවේදී සුනිල් පෙරේරා මහතාගේ ජනප්‍රිය ගීතයක් වන ලොරෙන්සෝ ද අල්මේදා ගීතය රචනා කළේත් ඔහු. ආදරණීය සුනිල්ගේ වියෝව පිළිබඳ ඩබ්ලිව් ජයසිරි ඔහුගේ මුහුණුපොතේ මෙසේ සංවේදී සටහනක් තබා තිබුණේ සුනිල් කියන්නේ කවුද කුමන වර්ගයේ මිනිසෙක් ද යනවග නැවත නැවතක් ඔප්පු කරමින්.

ඔහු තැබූ සටහන පහතින්…

සැප්තැම්බර් පලමුවෙනිදා, ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා පාන්දර 6.30 ට විතර මට ෆෝන් කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්.

“මචං, මට email කරල උඹේ account number එක එවපං. මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි. no problem perera@gmail.com”

“මම ඇහුව මොකද මේ හදිසියේම”

“මගේ birthday එක ළඟ යි නේ”

සුනිල්, හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට, සැප්තැම්බර් 14දා, “ලොරෙන්සෝ ද අල්මේදා, කොලොම්තොටට යහපත් නාවිකයා….” ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000 ක් ගෙවනව. කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනව.

අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්. 2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය දවසට ඒ වැඩේ වෙනව.

මේ අවුරුද්දෙත් ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලමුවෙනිදාම කරන්න සුනිල් ඇයි තීරණය කලේ කියල මම ඇහුවෙ නෑ.සුනිල්ට කොරෝනා වැළඳිල, සුවපත් වෙල ආපු බව මම දන්නව.මම ඒ ගැන ඇහුවෙත් නෑ. සුපුරුදු ලෙස උපන්දිනය දාටම සුනිල් මුණ ගැහිල ආ ගිය තොරතුරු සැපදුක විමසන්න මම හිතාගෙන උන්නෙ.

අනේ සුනිල්,ඇයි මෙහෙම උනේ….?

සුනිල් පෙරේරා කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්.

සුනිල්, ඔබ දෙව්මව්තුරුලේ සුබ සිහිණ දකින්න.

ඌන පූරණයක්:
මම සුනිල්ගෙන් ඇහුව ඇයි මෙහෙම අපිට මේ වගේ ගෙවන්නෙ කියල.
එතකොට සුනිල් කිවුව උඹ ලියපු සිංදුව හරිම ජනප්‍රිය යි. ඒ සිංදුව මම තාම මගේ ෂෝස්වල ගයල මම හම්බ කරනව. ඉතිං උඹටත් ඒ සල්ලිවලින් ගාණක් අයිතියි.