ඊයේ වගේ දවසක්

ලාංකේය සිනමාවට එතෙක් මෙතෙක් කාලයක් මුහුණ දෙන්නට සිදු වූ දරුණුම හිංසනය  වූයේ 1988 දී ය. එනම් කාලයක් පුරාවට සිනමා අඹර පුරා  වැජඹෙන්න සිටී සිහින තාරකාව එසේත් නැතිනම් මානුෂීය  පෙම්වතා හිරු කැකෑරෙමින් උණුසුම් දෙන පෙබරවාරි 16 වනදා මධ්‍යහනයේ දී තම ජීවිතය අතරමග නතර කර දමා නික්ම යාම ය . විජයට කෙදිනකවත්  තමා ආ  ගමන් මඟ ආපස්සට හරවා නවතා දැමීමට කිසිත් උවමනාවක් නොවීය .එහෙත් ඔහුගේ ගමන් මග නවතාලීමට තවත් කාට හෝ  තදබල ලෙසින් ම වුවමනාවක් තිබූ බව හැඟී යන්නේ ඔහුගේ ඝාතනයත් සමඟිනි. විජය මිය යන විටත් සිනමාවේ සාඩම්බර පෙම්වතාය, කෙදිනවත් නොමියෙන වීරයාය.. දුකින් පෙළෙන මිනිසුන්ගේ සිත් සතන් තුළ වැජඹුණු මිනිසාය… තවත් ලෙසකින් සඳහන් කරන්නේ  නම් අසාධාරණ දේශපාලන භූමිකාව තුළ තම පන්තිය වෙනුවෙන්  ඉදිරියට ආ සටන් සගයාය..

ඉතින් එතැන් පටන් පෙබරවාරි 17 වන දා ට හිරු උදා වන්නේ කමා පෙම් කළ සිනමා වීරයා රසිකයන්ට අහිමි කරමිනි. ලංකාවේ අනාගතය දුටු දේශපාලන වීරයා සදහටම නිහඬ කරවමිනි. අහිංසක මිනිසුන් වෙනුවෙන් සටන් කළ මිනිස් හදවත ස්පන්දනය නොවන දිනකය.

හන්තාන කතාව චිත්‍රපටයෙන් ඇරඹි විජයගේ සිනමා වසන්තය කෙදිනන වත් පල්ලම් බැස්සේ නැත . හන්තාන කතාවට කන්ද නැගි විජය හැමදාමත් සිටියේ කන්ද මුදුනේය. ඝාතනය කරන මොහොත වන විටත් චිත්‍රපට සිය ගණනක රඟපෑ විජය 1983 වසරේ සිට  1987 වසර දක්වා පිට පිට සරසවිය ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් විය. ඒ සම්මානය ම විජය මිනිසුන් කවර ආකාරයෙන් සිටියාදැයි යන්නට හොඳම නිදසුනකි.  සැබැවින්ම විජයගේ මරණය යනු පුදුමාකාර මරණයකි. විජය කුමාරතුංග මිය ගිය පසු ඔහුගේ පොල්හේන්ගොඩ නිවසේ සිට සැතපුම්  ගණනාවක්  විහිදෙන තුරු විජයට පෙම් බැඳි  මිනිසුන් දිවා රෑ නොබලා ඔහුගේ දේහය දැක බලාගැනීමට සිටියේ එතරම්ම මිනිසුන් විජයට පෙම්බැඳි   නිසාවෙනි. ඔහුට මිනිසුන් කවරාකාරයෙන් පෙම්බැන්දා ද යන්න  අවබෝධ කරගැනීමට  හැකි වූ එක් නිදසුනක් වූයේ එයයි . 

16 වන දා ඝාතනයට ලක් වූ විජයගේ නිසල සිරුර මල් ශාලාවේ සිට ගෙන ආවේ විජය පදිංචිව හුන් පොල්හේන්ගොඩ නිවසටය. එතැන් පටන් දේශපාලකයන් කලාකරුවන් මෙන්ම සිනමා  රසිකයන් පොදි ගැහුනේ විජයට තම අවසන් ගෞරවය දැක්වීම පිණිසයි. පොල්හේන්ගොඩ  නිවසේ තබා තිබූ දේහය දේහය 18වනදා   කලා භවනට ගෙන ආවේ විජයටට උත්තම අවසන් ගෞරවය දැක්වීම පිණිස එන්නවුනගේ පහසුවටය. ඒ මොහොතට ද විශාල කලාකරුවන් පිරිසක් පැමිණ සිටි අතර විජයගේ, තම හිත මිතුරාගේ  වෙන්ව යාම වෙනුවෙන්  කලාකරුවන් කලාකාරිනියන් ඔවුන්ගේ දුක පැවසූයේ මෙසේය .ඒ විජය මේ මිහිතලය මත ප්‍රාණය නිරුද්ධව හුන් අවසන් හෝරා කීපයේ දී ය

“විජය ගැන වුන දේ අපට අදහා ගන්නත් බැරි දෙයක්..විජය අපට නැතිවුණා එච්චරයි කියන්න තියෙන්නේ
            –  ගීතා කුමාරසිංහ –

“විජය කුමාරතුංග මහතාගේ අභාවය ලංකාවේ චිත්‍රපට කලාවට වෙච්ච විශාල ම පාඩුව හැටියට කියන්න පුළුවන් “
                -යසපාලිත නානායක්කාර-

“විජය කුමාරතුංග අවසන් වරට රඟපාන්න ලෑස්ති වෙලා හිටියේ සහරාවේ සිහිනය චිත්‍රපටයේ ඒ මම හිතන්නේ මම මුලින් කරපු සිකුරුලියා  චිත්‍රපටයට පස්සේ.. .ඒකෙන් පස්සෙ එයාම උනන්දුවෙන් එයාම යෝජනාවක් ගෙනල්ලා අපි චිත්‍රපටයක් කරන්න ඕන කියලා ,ඒ අදහසට අනුව ඉවර කරන්න හදපු චිත්‍රපටයක් තමයි සහ රාව.  සහරාවේ සිහිනය සඳහා මම එහේ පසුබිම් දර්ශන වලට තෝරා ගන්න ගිහින් ආපුවාම අපි දින නියම කරගෙන තිබුනෙ මාර්තු මාසේ මුල සුමානේ. එහේ තිබුන වාතාවරනය මෙහෙ එයාගෙ දේශපාලන වැඩ කටයුතුවලට සම්බන්ධ වීමයි නිසා මාර්තු මාසේ  යන්න.. සමහරවිට අපි මුලින් යොදා ගත් විදියට පෙබරවාරි මාසේ ගියානම් ගියා නම් මේ වගේ අකල් මරණයක් එයාට වෙන්න නැති වෙයි කියල හිතෙනවා.. නමුත් අපි හැමෝගෙම අවාසනාවට මේ වගේ දක්ෂ නළුවෙක් ඒ වගේම හිත හොඳ මනුස්සයෙක් නැති වුණා “
      – එච්. ඩී. ප්‍රේමරත්න –

එදා විජයගෙ  අවසන් කටයුතු පැවති නිදහස් චතුරස්‍ර භූමියට පැමිණි තවත් කලාකරුවන් පිරිසක් තම හිත මිතුරාගේ සොහොයුරෙක් වන්වූ  ප්‍රියතමයාගේ  වෙන්ව යාමේ ශෝකය පවසා සිටින්නට විය.
ජෝ අබේවික්‍රමයන් විජය හන්තාන කතාව චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වීමට පෙර ඔහු සමඟ මනමාලයෝ චිත්‍රපටයට  1967දී රංගනයෙන් සම්බන්ධව තිබිණි. සිනමා චාරිකාවේ විජය සමඟ  වඩාත්ම ඉතිහාසයක් ඇති ජෝ  අබේවික්‍රමයන් විජය ගැන පැවසුවේ මෙවැන්නකි.

“විජය මුලින්ම මම අඳුරන්න ඇවිල්ල අවුරුදු 20ක වගේ කාලයක් වෙනව. ඒ කියන්නේ විජය මුලින්ම චිත්‍රපටවලට පිවිසි කාලේ ඉඳන්ම ඉතා කිට්ටුව ආශ්‍රය කළා. ඔහු නැතිවෙන කල්ම. අපි කවදාවත් විජේ එක්ක  එක්ක මොන හේතුවක් නිසාවත් මොනම විදිහක වත් අමනාපකමක් ඇති කර ගත්තේ නෑ. මම විතරක් නෙමේ විජය අපේ කේෂ්ත්‍රයේ වැඩ කරන සියලු දෙනා අතරම ප්‍රියතම පුද්ගලයෙක් විදියට ජීවත් වුණා . විජේට කලාකරුවෙක් වශයෙන් අංශ කිහිපයකින්ම දක්ෂතාවයන් තිබුනා. ඒ හැම දක්ෂතාවයට ම වැඩිය මම අගය කරනවා විජය ගාව තිබ්බ ඒ මිනිස්කම. අපිට ඉතා කලාතුරකින් හම්බෙන හොඳ මනුස්සයෙක් විජය ..අපි ප්‍රාර්ථනා කරනවා විජයට සසර වසනතුරු මේ වගේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ද වෙන්න එපා කියලා “
ජෝ.

එමෙන්ම විජයගේ වඩාත් ජනප්‍රියත්වයට පත් සිනමාපටයක් වූයේ ගග අද්දරයි. ඒ සඳහා ඔහු පසුබිම ගායනයෙන් සම්බන්ධ වීමද වඩාත් කැපී පෙනිණි. ගඟ අද්දර චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ වසන්ති චතුරාණි විජය හා සිනමාපටයක් තුළින් දෙවනවර හමුවූයේ ගඟ අද්දරනි. විජයගේ ආදාහනය සිදු වීමට පැය කීපයකට පෙරාතුව වසන්ති විජය ගැන අතීතය ස්මරණය කළේ මෙලෙසිනි.

“විජය අයියා අපේ සිනමා කර්මාන්තයේ හිටපු ලොකු බලවතෙක් .ඒ වගේ කෙනෙක් අපිට නැති වීම දරන්න බැරි කම්පාවක්.. කලාකාරයෙකුට ඒ වගේ දෙයක්  කරපු එක ගැන පසුගිය දවස් ටිකේ අපිත් එක්ක චිත්‍රපටයක් රූගත කිරීමකට ගිහිල්ලා හිටියා. දැනුත් මතක් වෙනවා එදා රාත්‍රියේදි  උත්සවයේ පොඩි සින්දුවක් කියන්න කිව්වම ගඟ අද්දර සිංදුව කිව්වා.. විජය අයියා මට මුලින්ම හමු උනේ මට අහසින් පොළවට චිත්‍රපටය රඟපාන්න ලැබුණාම. ඊට පස්සේ තමයි ගඟ අද්දර චිත්‍රපටයෙන්  විජය අයියව මට හම්බ උනේ”

එමෙන්ම විජයගේ අවසන් චිත්‍රපටය වූ මිහිඳුම් සිහින චිත්‍ර පටයේ රංගනයෙන් සම්බන්ධ වූ ශ්‍රියානි අමරසේන

“ඇත්ත වශයෙන්ම කියන්න තියෙන කාරණා නම් හුගක් මට කියන්න තියෙනවා.  මුලින්ම මට කියන්න තියෙන්නේ අපිට හිටපු හොඳ උසස් ගණයේ කලාකාරයෙක් හොඳ හදවතක් ඇති රත්තරන් මනුස්සයෙක් අප අතරින් නැති වුණා කියලයි. මම හිතෙන්නේ අප හැමටම ඒ වෙනුවෙන් තියෙන කණගාටුව ,දුක කියලා නිම කරන්න බෑ”.

විජයට සිනමා ක්ෂේත්‍රයේ දී හමු වුණු මිතුරු මිතුරියන් අපමණය. එමෙන් ම ඉන් පරිබාහිරවත් ගණනය කළ නොහැකි මට්ටමේ මිතුරු සමාජ ඔහු හා විසීය. එහෙත් ඒ කිසිවකටත් වඩා විජයට පාසල් සමයේ දී  හුන් මිතුරකු සිටියේය. ඔහු විජය හා සමකාලීනව ඔහුත් සමඟ රංගනයේ යෙදුණු රවින්ද්‍ර රන්දෙණියයි.

“මා බලවත් ලෙස කම්පාවට පත්වුණා.. මොකද විජයගෙයි මගේයි මිත්‍ර සම්බන්ධය අපි  වෙන කිසිම මට්ටමකින් නෙමෙයි, අපි පාසල් සමයේ මිතුරෝ. අපිට ඉතාම කිට්ටු ආශ්‍රයක් ඒ  ඉඳලා තිය යුගයේ ඉඳලා තිබුණා. හුඟක් කලාතුරකින් වෙන විදියට එක පන්තියේ ඉගෙනගත්ත දෙන්නෙක් එකම වෘත්තියේිය යෙදුණා. අපි අදහස් අතින් සමහර විට විවිධ වෙන්න ඇති. නමුත් අපේ මිත්‍රත්වය ඒ නිසා කවදාවත් පලුදු වුණේ නෑ. මිත්‍රත්වයට වඩා වැඩි සහෝදරත්වයකින් විශේෂයෙන්ම කර්මාන්තයේ කටයුතු කරද්දීත් පෞද්ගලික ජීවිතේ දීත් අපි හිටියා”

 

එමෙන්ම ඔහු හා එක්ව චිත්‍රපට ගණනාවක  රංගනයේ යෙදුණු සනත් ගුණතිලක විජය ගැන පැවසුවේ මෙවැන්නකි .

“මට කියන්න තියෙන්නෙ සිංහල සිනමාවේ මට ඒ වගේ අවංකව හිතවත් යාළුවෙක් හිටියේ නෑ. උතුම් මනුස්සයෙක් ඒ වගේ මනුස්සයෙක් කවදාවත් සිනමාවේදී නම් ආයෙ හම්බවෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ”

විජය වටා මේසා විශාල රසික පිරිසක් මෙන්ම ක්ෂෙත්‍රයේ  හිත මිතුරු කලාකරුවන් විශාල පිරිසක් ද ගොණුවූයේ ඔහු තුළ පැවති ඒ අසාමාන්‍ය මිනිසත් කමටත්  ඔහුටම ආවේණික වූ රංග ශෛලියක්ද  ඇති නිසා බව නොරහසකි. 1988 පෙබරවාරි මස විසි එක් වෙනිදා විජයගේ නිසල දේහය කොළඹ කලා භවනේ සිට  නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේ ලක්ෂ සංඛ්‍යාත වූ අවමංගල පෙරහැරකිනි. ජාතික රූපවාහිනිය මගින් අවමංගල උත්සවය පිළිබඳ සජීවී  විකාශයක්  ගෙන ආ අතර ලංකාවේ  අවමංගල උත්සවයක් සම්බන්ධයෙන් සජීවී විකාශයක්  ගෙන ආ පළමු වතාව මෙය විය. මෙම අවමංගල පෙරහරේදී මහජන  පක්ෂයත්,  ලංකා සමසමාජ පක්ෂයත්, නව සමසමාජ පක්ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා කොමියුනිස්ට්  පක්ෂයත් තම බැනර සමගින් අවමංගල්‍ය පෙරහැර හා එක්විය..සවස පහට පමණ නිදහස් චතුරස්‍රයේ චිතකය වෙත දේහය රැගෙන ආ අතර පොහොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හිමි විසින් අනුශාසනාව පවත්වන ලදී.

දශක ගණනාවක් පුරා තම සිත් සතන් ආලෝකමත් කළ සිනමාවේ වීරයා, මානුෂීය පෙම්වතා යන සනාතන කිරුළෙන් අභිෂේක ලත්  විජය කුමාරතුංගයන් දෙවියන් දුක් ගී ගයන  මල හිරු බසිනා සැඳෑ යාමයේ යළි නොඑන්නටම දෙවියන් තුරුලට ගියේය.

ක්‍රිශාන්ත සෙල්ලහේවා
උපුටාගැනීම සිල්වර් ඊ පුවත්පත