එළවළු තොග මිල පහත වැටෙයි – යාපනයේ මිදි කිලෝවක් රු 200 බහියි

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේදීත් විවෘතව පවතිනවා. එම මධ්‍යස්ථානවලට ගොවීන් එළවළු තොග රැගෙන ආවත් එළවළු තොග මිල පහත වැටී ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 04 ට විවෘත වීමත් සමග ගොවීන්ගෙන් එළවළු තොග එම මධ්‍යස්ථානයට ලැබී තිබුණා.  කෙසේවෙතත් ගොවීන්ගේ පැමිණීම අද අඩුමට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පෙරේදා දිනට සාපේක්ෂව එළවළු තොග මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව හා තොග මිලදි ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.  යාපනය ප්‍රදේශයේ වගා කරන පළතුරු හා රතුළුූණු අස්වනු විශාල වශයෙන් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.  ඒ අනුව යාපනයේ මිදි කිලෝවක් රුපියල් 200 ක් වැනි අඩු මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.