ටියුඩර් ගුණසේකර කොවිඩ් මාරයා බිලිගනී

පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ටියුඩර් ගුණසේකර මහව්තා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත. එතුමා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වේ.

කොවිඩි ආසාදිතව ප්‍රතිකාර ලබමින් ඒ මහතා පෙරේදා (29) අභාවප්‍රාප්ත වී ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුකූලව එදිනම සිදු කෙරිණි. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 86 හැවිරිදි වියේ පසු විය.

බියගම හෙයියන්තුඩුව ප්‍රදේශයේ ධනවත්, ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ හා දළදා කරඩුව වැඩම වූ ”හෙයියන්තුඩුව රාජා ”ඇතුළු හීලෑ අලි ඇතුන් දාහතර දෙනෙකුගේ හිමිකරු වු විලියම් ගුණසේකර මහතාගේ දෙවැනි ප්‍රත්‍රයා වන්නේ ටියුඩර් ගුණසේකර මහතාය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණසේකර මහතා 1960 වසර අග භාගයේ මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මෙරට සක්‍රීය දේශපාලනයට පිවිසියේය. 1970 මහ මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නමුත් පරාජයට පත් විය.

ටියුඩර් ගුණසේකර මහතා 1977 වර්ෂයේදී පළමු වරට මහර ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. 1983 වසර දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ගම්පහ ප්‍රථම දිසා ඇමතිවරයාද විය.

දේශපාලනයෙන් ඉවත් වූ ඒ මහතා පෝලන්තය, බල්ගේරියාව, රුමේනියාව සහ හංගේරියාව යන රටවල ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

පසුව 1994 වසරේදී බලයට පත්වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජයේ පෝලන්තයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපති ලෙස ගුණසේකර මහතා පත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු බල්ගේරියාව, රුමේනියාව සහ හංගේරියාව සඳහා වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. මෙම කාලය තුළ ලංකා තේ, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්‍ධනය කිරීම සහ නැගෙනහිර යුරෝපා රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තානාපති සබඳතා ශක්තිමත් කිරීම සඳහා ගුණසේකර වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.