
රූප්කුන්ධ් විල සිය ගණනක් වූ මිනිස් ඇටසැකිලි විසිරී ඇති සුන්දර හිමාලයේ ඉන්දියාවට අයත් කඳුකරයේ ඉහළ ප්‍රදේශයේ හිමෙන් වැසුණු මිටියාවතක පිහිටා ඇති විලකි. අභිරහස් විල නමින් හඳුන්වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර 5,029ක් ඉහළින්, ඉන්දියාවේ උසම කඳුවලින් එකක් වන ත්‍රිශූල්, කන්දේ දුෂ්කර බෑවුමක පතුලේ පිහිටා තිබේ. ඇටකටුවලින් පිරුණු විල පිහිටා ඇත්තේ උත්තර්ඛන්ඩ් ප්‍රාන්තයේය.
වසරේ වැඩි කලක් හිමෙන් වැසී පවතින පවතින රූප්කුන්ධ් විලේ හිම දියවුණු සමයට ඇටසැකිලි දිස්වීම ආරම්භවන අතර ඉන් ඇතැම් ඒ්වායේ අස්ථීන්හි මාංශය ද ඉතිරි වී ඇත. 1942 වසරේ දී මේ ප්‍රදේශයේ මුර සංචාරයක නිරතවූ බ්‍රිතාන්‍ය රජයේ වන නිලධාරියකු මුලින්ම මෙම විල හඳුනාගත් අතර එදා සිට අද දක්වා අභිරහස් විල පුරාවිද්‍යාඥයන්ගේ විද්‍යාගාරයක් බවට පත්වී අවසන්ය. දැනට කරන ලද පුරාවිද්‍යා කටයුතුවලදී මිනිසුන් 600-800 අතර සංඛ්‍යාවක අස්ථි කොටස් විල ආශ්‍රීත භූමියෙන් හමු වී ඇති අතර එම මරණ සිදුවූයේ කෙසේද යන්න නිශ්චිත තොරතුරක් තවමත් හමු වී නැත.
ජනප්‍රවාදයේ කථා….
මේ ඇටසැකිලි කාගේ ද? ඔවුන් මියගියේ කවදා ද? කෙසේ ද? ඔවුන් පැමිණියේ කොහි සිට ද? යන්න අදටත් අභිරහසකි. මේ මියගිය මිනිසුන් පිළිබඳ ජනප්‍රවාද මෙන්ම කල්පිත රාශියකි.
වසර 870කට පමණ පෙර නන්දා දේවී නම් දේවතාවිය වන්දනාව පිණිස දෙවොලකට යමින් සිටි පිරිසක් දේව උදහසට ලක්ව හිම කුණාටුවකට හසුව මිය ගිය ජනප්‍රවාදයක් එහි වෙයි. රජු සිය බිසව හා සේවක සේවිකාවන්ද වන්දනාවේ යමින් සිටියදී ඔවුන්ගේ අශෝභනශීලි, නුසුදුසු, විනෝදකාරී හැසිරීමෙන් කෝප වූ දේවතාවිය ඇති කල “යකඩ මෙන් දැඩි” හිම කුණාටුවක් නිසා විල පසුකර යන මරණයට පත් වූ බව කියවේ.
නන්දා දේවී, දේවතාවියක වශයෙන් වන්දනාමාන කෙරෙන ඉන්දියාවේ දෙවැනි උසම කන්ද පසුකර යන මිනිසුන් පිරිසක් හිම කුණාටුවක් හේතුවෙන් විලට වැටීමෙන් මරණයට පත්වූ අයුරු කියැවෙන ගැමි ගීයක් ද මෙම ප්‍රදේශයේ ගම්වල ප්‍රචලිතව තිබේ. 2004 වසරේ දී සිදුකළ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයකින් පසු, මියගොස් ඇත්තේ වන්දනා ගමනක නිරත වූ වන්දනා නඩයක් යන මතය ඉදිරිපත් විය. මෙම නඩය, දොළොස් වසකට වරක් පවත්වනු ලබන, අද දක්වාම පිළිපැදෙන පුරාණ සම්ප්‍රදායක් වන “නන්දා දේවී රාජ් ජට් යාත්‍රා” නම් පූජනීය හින්දු වන්දනා ගමනේ යෙදෙන්නට ඇතැයි සැලකේ.
නව වන ශතවර්ෂයේ දී, ප්‍රාදේශීය කුලීකරුවන්ගේ ද සහාය ඇතිව වන්දනා ගමනක යෙදෙමින් සිටි මිනිසුන් සහ කාන්තාවන්ගෙන් සැදුම්ලත් නඩය, රූප්කුන්ධ් විල අසල දී මහා හිම කුණාටුවකට හසුවන්නට ඇතිබව එහි වූ හිස්කබල් මත මරණයට පෙර ඇතිව තිබූ තුවාල විශ්ලේෂණය කරමින් තීන්දු කෙරුණි.
මුල්ම අධ්‍යයනය….
ඇටසැකිලි පිළිබඳව සිදුකළ මුල් අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ මියගොස් සිටින බොහෝ පුද්ගලයන් “සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා” උස බව යි. ඔවුන්ගෙන් බොහෝ දෙනා වයස අවු. 30- 40 අතරේ පසුවූ, මැදිවියේ නීරෝගීමත් වැඩිහිටියන් විය. ඔවුන් අතර අතදරුවන් හෝ කුඩා දරුවන් නොවීය. ඔවුන්ගෙන් ඇතැමෙක් වයස්ගත කාන්තාවන් ය.
මේ මියගිය පිරිස වර්ෂ 1841 දී ටිබෙටය ආක්‍රමණය කරන්නට උත්සාහ කර පරාජයට පත්වූ ඉන්දීය සෙබලුන්ගේ අවශේෂයන් බවටද තවත් අදහසක වෙයි. ඔවුන්ගෙන් 70කට වැඩි පිරිසකට හිමාලය හරහා පා ගමනින් ඉන්දියාවට යන්නට සිදු වුණු අතර, ගමන අතරමඟ දී ඔවුන් ජීවිතක්‍ෂයට පත් වූ බවද තවත් මතයක් ලෙසින් ඉදිරිපත්ව තිබේ.
නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ මේ භූමිය වසංගතයකින් මරණයට පත්වූවන්ගේ සිරුරු භූමදානය කළ “සොහොන් බිමක්” බවයි.එහෙත් මරණයන්ට හේතුව රෝගයක් වැළඳීම වශයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන අන්දමේ පැරණි බැක්ටීරියා රෝගකාරකයක කිසිදු සාධකයක් ජානමය අධ්‍යයනයන්හි දී හමු වී නැත.
පූනේහි ඩෙකෑන් කොලේජ් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා මහාචාර්යවරියක වන වීනා මුශ්‍රිෆ්-ත්‍රිපති 2004 වසරේ දී සිදුකෙරුණු විමර්ශනයට හවුල් වෙමින් කියා සිටියේ එම භූමියෙන් ආයුධ කිසිවක් හමු නොවීම නිසා මෙම පිරිස සොල්දාදුවන් නොවන බවට වඩාත් හොඳින් තහවුරු කරන බවත්, මරණයට හේතුව ප්‍රහාරයක් නොවන බවත්ය. නමුත් ඔවුන්ට සංගීත භාණ්ඩවල ශේෂයන් හමු වී තිබේ. එය නන්දා දේවී ජට් යාත්‍රා පාගමනේ යෙදෙන වන්දනා නඩයන් සම්බන්ධ ජනකතා සිහිපත් කරවන සාධකයකි. මෙම ඇටසැකිලි පුළුල් වයස් පරාසයකට අයත් පිරිමි හා කාන්තා කණ්ඩායමකට අයිති බව DNA විශ්ලේෂණයෙන් හෙළි වූ අතර, එමඟින් මෙම උපකල්පනය තවදුරටත් ශක්තිමත් වූබව මුශ්‍රිෆ්-ත්‍රිපති කියා සිටියාය.
වසර 1,200ක් තරම් පැරණි ඇටසැකිලි….

එහෙත් ඉන්දියාව, එක්සත් ජනපදය, සහ ජර්මනිය පදනම් කරගත් අධ්‍යාපන හා විශේෂඥ ආයතන 16ක සේවය කරන සමකතුවරුන් 28 දෙනකු සම්බන්ධ වී සිදුකළ නවතම පස් අවුරුදු අධ්‍යයනයකින් පසුව මෙම උපකල්පනයන් සියල්ල සත්‍ය විය නොහැකි බව කියා සිටියහ.
කාන්තා ඇටසැකිලි පහළොවක් ඇතුළු විලෙන් සොයාගත් සිරුරු 38ක ශේෂයන් ජාන විශ්ලේෂණයටත්, කාබන් කාල නීර්ණයටත් ලක් කරන ලද අතර එහිදී ලැබුණු පිළිතුර වූයේ ඇතැම් ඒ්වා වසර 1,200ක් තරම් පැරණි බවයි. මේ ආකාරයට මරණයට පත්වූවන් ජානමය වශයෙන් විවිධත්වයක් පෙන්නුම් කරන අතර, ඇතැමුන්ගේ මරණයන් අතර වසර අවුරුදු 1 000ක පමණ පරතරයක් ඇතැ යි දකියා සිටියහ.
මියගිය අය විවිධ වර්ගයන්ට අයත් පුද්ගලයන්ගෙන් සමන්විත බව ජාන අධ්‍යයනයෙන් පසුව හෙළි වූ අතර එක් පුද්ගල කණ්ඩායමක ජාන වර්තමානයේ දකුණු ආසියාවේ ජීවත් වන්නන්ගේ ජානවලට සමාන වූ අතර, අනෙක් පුද්ගලයන් වර්තමාන යුරෝපයේ ක්‍රීට් නම් ග්‍රීක දූපතේ – ජීවත්වන අයගේ ළඟ ඥාතින් බවටද සොයා ගැනිණි. එසේම, දකුණු ආසියාවෙන් පැමිණි පිරිස ද එකම ජන කොට්ඨාසයකින් පැවතෙන්නන් නොවන බව පෙනෙන්නට තිබුණි. ඇතැමෙක් ඉන්දියානු උපමහද්වීපයේ උතුරේ ජීවත් වෙන ජන කණ්ඩායම්වලට වාර්ගික වශයෙන් වඩාත් සමානකම් පෙන්වන අතර කොටසක් ඉන්දියානු උපමහද්වීපයේ දකුණු ප්‍රදේශවල ජීවත් වෙන ජන කණ්ඩායම්වලට වඩාත් සමාන බවට හඳුනාගෙන තිබේ. .
ප්‍රදේශය ඔස්සේ කෙරුණු වන්දනා ගමන් පිළිබඳ වාර්තා 19 වැනි සියවසේ අගභාගය වනතුරු දක්නට නොලැබුණත්, ඒවා ඈත අතීතයේ සිදුවන්නට ඇතැයි සිතිය හැකි ශිලාලිපි හමු වී තිබේ. එම ශිලාලිපි , 8 වැනි සහ 10 වැනි සියවස් අතර කාලසීමාවට අයත් ප්‍රාදේශීය කෝවිල්වලින් සොයාගැනීමට හැකි වි තිබේ. විලෙහි ඇති ඇතැම් මළ සිරුරුවලට හේතුව වන්නේ වන්දනා ගමනක් අතරතුර දී සිදුවූ සමූල මරණයක්යැයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ නිසාවෙනි.
ඒහෙත් නැගෙනහිර මධ්‍යධරණී භූමියකින් පැමිණි මිනිසුන් ඉන්දියාවේ උසම කඳුකරයේ හුදෙකලා විලකට පැමිණියේ කෙසේ ද? හින්දු වන්දනා ගමනකට සහභාගී වීම සඳහා යුරෝපයේ සිටි මිනිසුන් රූප්කුන්ධ් වෙත ගමන් කිරිම ප්‍රායෝගිකද, නැතිනම්, නැගෙනහිර මධ්‍යධරණී බිමකින් පැමිණ, ජානමය වශයෙන් මිශ්‍ර නොවී පරම්පරා ගණනාවක් තිස්සේ මෙම කලාපයේ ජීවත් වූ ජන පිරිසක් ද?යි යන ප්‍රශ්න ඉතිරි වි තිබේ.
විසඳුම්වලට වඩා ප්‍රශ්න …..
විල නැරඹීමට පැමිණ පිරිස් ඇටකැබලි නිවසට පවා රැගෙන ගොස් තිබේ. ඒම නිසාම ඉතිරි වී ඇති සුන්බුන් සමඟ මේ මරණවල අභිඅරහස සෙවිම පහසු නැති බව පර්යේෂණ කටයුතු කරනු ලබන පර්යේෂකයන්ගේ අදහසයි.
සීතල මීදුමත්, පාසිවලින් වැසුණු ඕක් වනාන්තරත් අතරින් වැටී ඇති මාර්ගය වනමලින් පිරුණු මහා ඇල්පයින් තණතලාවක් ඔස්සේ වැටී තිබේ. ප්‍රාදේශීය භාෂාවෙන් “බග්යාල්” යනුවෙන් මෙම ඇප්බයින් තැනිතලා හැඳින්වේ. කඳුකර මාර්ගයේ උසම ස්ථානය වන්නේ මීටර් 5,000ක් උස ජූනර්ගාලි හෙල් වැටියයි. රූප්කුන්ධ් පිහිටන්නේ මේ වැටියට මීටර 200ක් පහතිනි. ජුනර්ගාලි වෙත වැටී ඇති අනතුරු සහිත, දුෂ්කර බෑවුම් නැග්ම කඳු නගින්නන් අතර ජනප්‍රිය මාර්ගයකි. අභිරහස් මරණ සහිත විල අසලින් ඔවුන් ගමන් කරන්නේ මරණයට අඩියක් මෙහායිනි.
ධවල පැහැති ග්ලැසියර් තට්ටු අතර ඇති ඇටකටුවලට අයිති වූ ජීවිතවලට වගකිව යුතු වන්නේ කවුරුන්ද යන්න අඩසියවසකට වැඩි කලක් තිස්සේ විද්‍යාඥයන් සහ මානවවිද්‍යාඥයන් සොයා යන අභිරහස තවදුරටත් විසඳෙන පාටක් නැත. රූප්කුන්ධ්හි අභිරහස් විලේ අභිරහස විසඳන්නට යන විද්‍යාඥයන්ට විසඳුම්වලට වඩා හමු වී ඇත්තේ තව තවත් මිය ගිය ජීවිත ගැන ප්‍රශ්න පමණකි. ඒ්වා තව අවුරුදු කීයකින් විසඳේදැයි දිනයක් ගැන සිතන්නටවත් නොහැකිය.
රසිකා හේමමාලි
