ආබාධිතයන්ගේ සිහිනයාය Guinea -Pig- club…

අතීතයේ ගුවන් නියමුවන් බියට පත් කළ එකම දේ වූයේ ගින්නයි. ලෝකයේ විශාලතම සහ බලගතුම ගුවන් හමුදාව ලෙස සැලකුණු ජර්මනියේ ගුවන් හමුදාව වන ලුෆ්ට්වාෆේ සතුව දෙවන ලෝක යුධ සමයේදී ඕනෑම අවස්තාවකට සරිලන ආකාරයේ විවිධාකාර ගුවන් යානා අවි වර්ග මෙන්ම ගුවන් යානා පැවතිනි.

එම කාල සීමාව වන විට ගුවනේ යුධ ක්‍රියාකාරකම් සිදුකර ඇති ප්‍රමාණයට වඩා ඉදිරිපත් කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් බවට පත්ව තිබුනි. තවත් පසෙකින් මෙම අපේක්ෂිත ඉල්ලුමට සාර්ථකව මුහුණ දීම සඳහා හදිසි වෛද්‍ය සේවාවන් වැඩි දියුනු කිරීමේ අවශ්‍යතාවක් ද මතු විය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ අත්දැකීම් ද සලකා බලමින් එක්සත් රාජධානිය , රාජකීය ගුවන් හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර වැඩි කිරීමට කටයුතු කර තිබුණේ ඒ අනුවයි. මේ සඳහා නවසීලන්ත ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ආර්චිබෝල්ඩ් මැකින්ඩෝගේ (Archibald McIndoe) ගේ සහාය පැතූ එක්සත් රාජධානිය, ඔවුන්ගේ එක් මධ්‍යස්ථානයක් සඳහා තෝරා ගැනුනේ නැගෙනහිර Grinstead හි Queen Victoria Cottage රෝහලේ වාට්ටු තුනකින් සමන්විත ඒකකයකි.

යුද්ධයේ මුල් වසරවලදී, රාජකීය ගුවන් හමුදාවේ (RAF) ගුවන් යානා වලින් පිළිස්සුම් තුවාල ලැබූවන් ගෙන යනු ලැබුවේ එම වකවානුවේ ප්‍රසිද්ධියට පත් වූ මෙම ඒකකය වෙතයි. රෝගීන් 39 කින් ආරම්භ වූ රෝහල යුද්ධය අවසන් වන විට රොගීන් 649 කුගෙන් පිරී යන්නට විය. කැනේඩියානුවන්, ඕස්ට්‍රේලියානුවන්, නවසීලන්ත ජාතිකයන් මෙන්ම ඇමරිකානුවන්, ප්‍රංශ, චෙක් සහ පෝලන්ත ජාතිකයන් ද එම පිරිසට ඇතුළත් විය. ඔවුන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් දරුණු පිළිස්සුම් තුවාල ලැබූවන්ය. අවසානයේ යුද්ධය නැවතුණද ඔවුන්ගේ ජීවනයුද්ධය පහසුවෙන් ජයගැනීමට ඔවුන්ට නොහැකිවිය. තුවාල ලැබුවන්ගේ මුහුණු, ඔවුන්ගේම මුහුණු ලෙස හඳුනා ගැනීමට නොහැකි වුණු අතර බොහෝ දෙනා අත් පාද අහිමිව හෝ විකෘතිතාවලට පත්වූවන් විය. ජීවිතය මොහොතකින් වෙනස් කරනු ලැබූ විරූපිතාවන් සහිත මෙම තරුණයින්ට මැකින්ඩෝගේ පුරෝගාමී ප්ලාස්ටික් සැත්කම් ශිල්පීය ක්‍රම, නැවතත් ජීවත්වීමට බල කර සිටියේය.

Guinea -Pig- club…


පළමුවන ලෝක සංග්‍රාමයේ අවසානය වන විට, ප්ලාස්ටික් සහ ප්‍රතිනිර්මාණ ශල්‍යකර්ම මිලිටරි සැත්කම්වල ප්‍රධානම කොටසක් බවට පත්ව තිබූ නමුත් එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ බොහෝ දුරට දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයක් ලෙසින් පැවතුණි. ප්ලාස්ටික් සැත්කම්වල මුල්කාලීන සොයා ගැනීම් රැසක් මෙම හමුදා නිලධාරීන්ගේ විවිධ විකෘතිතාවන් නැති කිරීමට මැකින්ඩෝ ගත් උත්සහයන්වල ප්‍රතිඵල ලෙසයි සැලකෙන්නේ. මේ නිසාම ගුවන් මෙහෙයුම්වලදී දැඩි ලෙස පිළිස්සුණු රාජකීය ගුවන් හමුදාවේ නිලධාරීන් මැකින්ඩොගේ පර්යේෂණාගාරයේ ගිනිපිග් මීයන් ලෙස සැලකුණා. දිගු කාලීන ප්‍රතිකාර අතරතුර ඔවුන් දැඩි මිතුරුදමකින් බැඳෙමින් සිටි අතර කෙටි කලකින් ඔවුන්ගේ එකමුතුවක් නිර්මාණය කිරීමට ද කටයුතු සකස් වෙමින් පැවතුණා. මැකින්ඩෝගේ පර්යේෂණ සඳහා ගෞරවයක් ලෙස එය නම් කෙරුණේ ගිනි පිග් සමාජය (Guinea -Pig- club)ලෙසයි. මෙම නව සමාජයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මැකින්ඩෝ පත් වූ අතර අනෙකුත් කමිටු සාමාජිකයින් ප්‍රතිකාර ලබන්නන් අතරින්ම පත් කර ගනු ලැබුවා. ඔවුන් තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ හැකියාවන් හා ඔවුන් නැවත සුවය ලබමින් සිටින බව පිළිඹිබු වන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස ඇඟිලි දැඩි ලෙස පිළිස්සුණු නිලධාරියෙක් ලේකම්වරයා බවට පත් කෙරුණු අතර නියමිත වාර්තා ලිවීම් ප්‍රමාද වීමකට ඔහුට අනිවාර්යයෙන් සමාව ලැබුණි. ඔවුන්ගේ භාණ්ඩාගාරික තනතුරට තෝරාපත් කර ගෙන තිබුණේ කකුල් දැඩි ලෙස පිළිස්සීමට ලක් වීම නිසා රෝද පුටුවකට බරවූ නිලධාරියෙකි.

ආබාධිතයන්ගේ ජීවිත සීමා විය යුතු බවට පැවති දුර්මතවලට අභියෝග කළ ගිනි පිග් සාමාජිකයන්ට වාට්ටුවල දී වතුර දැමු බියර් පානයට ඉඩ ලැබීම විශේෂත්වයකි. එමෙන්ම රෝහලක් ලෙස නොපෙනෙන ආකාරයට වාට්ටුවල බිත්තිමත ප්‍රීතිමත් වර්ණ ආලේප කළ යුතු බව මැකින්ඩෝ අවධාරණය කර තිබු අතර කායික මෙන්ම මානසිකව පීඩා ලැබූ ඔවුන් මැකින්ඩෝගේ ක්‍රමය තුළ ඔවුන්ගේ ජීවිත වැසී ගිය අඳුර කෙමෙන් මැකී ගොස් කෙමෙන් සුවපත්වීම සිදුවිය. මැකින්ඩෝගේ ධෛර්යය සහ රැකවරණය යටතේ ගිනි පිග් සාමාජිකයන් පුදුම සහගත ලෙස ක්‍රියාශීලී ජීවිත ගතකරන්නන් බවට පත්ව සිටියහ.

සමාන සැලකුම්….


සියලුම නිලයන්ට එක හා සමානව සැලකුම් සිදු කළ අතර නිශ්චිත වේලාවක නොව, ඔවුනට අවශ්‍ය විට අහාර ගැනීමට ඉඩ ලබාදී තිබුණි. එමෙන්ම හිතාමතාම ඔහු හෙදියන් ලෙස ආකර්ශනීය සුන්දර තරුණියන් බඳවා ගැනීමට කටයුතු කරනු ලැබුවේ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකුගේ බිරින්දෑවරු, පෙම්වතියන් ඒ වන විටත් ඔවුන් හැර දමා තිබීම හේතුවෙනි. මෙනිසා සුන්දර තරුණියන් ඔවුන් වටා ගැවසෙනු දැකීමට මැකින්ඩෝට අවශ්‍ය විය. ඔහුගේ එවැනි තීරණ සොල්දාදුවන්ගේ ජීවිතවලට කොයිතරම් බලපෑමක් වූවා ද සඳහන්කළහොත් අවම තරමින් ගිනිපිග් සාමාජිකයන් 40ක් හෝ පසුකාලීනව ඔවුන්ට ප්‍රතිකාර කළ හෙදියන් සමඟ විවාහ වු බව එම අතීත තොරතුරුවල සඳහන් වේ.


මැකින්ඩෝ ගුවන් භටයින් අතර ගායනය දිරිමත් කිරීම සඳහා වාට්ටුවේ පියානෝවක් තැබූ අතර සමාජ රැස්වීම් සහ සංවාද ප්‍රවර්ධනය කිරීම සඳහා බියර් බැරල පිටින් ලබා දුන් බවද සඳහන්ය. මේ අතර , පිරිමි නිලධාරීන් සුවය ලබන අතරතුර ඔවුන්ගේ වැටුප් සහ කොන්දේසි වැඩිදියුණු කිරීමටද සටන් කළ අතර සිවිල් ජීවිතය සඳහා උපකාර කිරීමට ඔහු ඔවුන්ට මුදල් ණයට දීමට ද මුල්විය. තවද සුව වෙමින් සිටින නිලධාරින්, ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමේ දී හා ඔවුන් නැවත සමාජගත කිරීමේ දී මැකින්ඩෝ මැදිහත් භූමිකාවක් ඉටු කළේය .

මත්පැන් පානය කරන සමාජය….


මුලින් මත්පැන් පානය කරන සමාජයක් ලෙස පිහිටුවා ගත්තද ,ඉක්මණින් එහි ස්වභාවය වෙනස් කර ඔවුන්ගේ දෙවන රැස්වීමවන විට එකඟතාවය වූයේ, සාමාජිකයින්ගෙන් එකතු කරන අරමුදල් අන් අයට මූල්‍යමය වශයෙන් උපකාර කිරීමට භාවිතා කළ යුතු බවයි. පසුව සුව වී නැවත සමාජගත වුවත් ගිනිපිග් සාමාජිකයන් සෑම වසරකම එකට එක් වූ අතර එහි වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය ද සාමාජිකත්වයේ කැපී පෙනෙන අංගයක් වූ අතර මැකින්ඩෝගේ මරණයෙන් පසු එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු එහි සභාපතිත්වයට පත්කරන ලදි. අවසන් වරට ඔවුන් මුණ ගැසුණේ 2016 වසරේ ගිනිපිග් සමාජය පිහිටුවීමේ 75 වැනි සංවත්සරයේ දීය.

ඔවුන් දිගින් දිගටම ආබාධිතයන්, ජීවිතය සීමා කළ යුතු බවට පවතින මතයට අභියෝග කළ අතර ෆෝක්ලන්ඩ්, ඉරාකය සහ ඇෆ්ගනිස්ථාන ගැටුම්වලදී තුවාල ලැබූ සෙබළුන් ඇතුළු පිළිස්සුම් තුවාල ලැබූවන්ගේ නව පරම්පරාවන්ට උපදේශකත්වය ලබා දීමට ද මේ වනවිට කටයුතු කර තිබේ.

ඉතිහාසඥයකු වන Emily Mayhew පවසන්නේ Archibald McIndoe ගේ වැදගත්කම සහ ඔහු මෙම මිනිසුන් වෙනුවෙන් කළ දේ අධිතක්සේරු කිරීමට අපහසු බවයි. ගැඹුරු පිළිස්සුම් තුවාල සහ ප්‍රතිසංස්කරණ ශල්‍යකර්ම සඳහා ප්‍රතිකාර කිරීමේ ඔහුගේ පුරෝගාමී මෙහෙවර ඇගයීමට ලක් කරමින්, 1944 දී බ්‍රිතාන්‍ය රාජධානියේ අණ දෙන නිලධාරි වරයා ලෙසින්ද (CBE)1947 දී නයිට් පදවියෙන් ද ඔහු පිදුම් ලැබීය.

ජීවිතයෙන් සමුගත් මැකින්ඩෝ…


1960 වසරේ දී ගිනිපිග් සමාජයේ සදාතනික මතකයක් බවට පත් වෙමින් මැකින්ඩෝ ජීවිතයෙන් සමුගත් අතර පසුව ඔහුට කරන ගෞරවයක් ලෙස 1961 දී Blond McIndoe මධ්‍යස්ථානය නැගෙනහිර Grinstead හි Queen Victoria රෝහලේ විවෘත කරනු ලැබුවා. එය අද Blonde McIndoe පර්යේෂණ පදනම ලෙස හැඳින්වෙන අතර මෙම පදනම පිළිස්සුම් තුවාල පිළිබඳ පුරෝගාමී පර්යේෂණ මේවන විටත් සිදු කරමින් සිටී. මැකින්ඩෝ සහ ඔහුගේ ගිනියා පිග්ස් වෙත ස්තුති වන්නට සුව කිරීමේ සහ ප්ලාස්ටික් සැත්කම්වලින් අදටත් ජීවිතය ලබන්නන් බොහෝය.

සුභා ගුණරත්න