
මිනිසුන්ට ඉලක්ක තිබේ. එම ඉලක්ක සම්පූර්ණ කරගැනීමට අභිප්‍රේරණ මහඟු පිටුවහලක් වේ. අභිරහස් ලෙස මිය ගිය තම පියාග් මරණයට සාධාරණයක් කිරීම පිණිස එයම අභිප්‍රේරණයක් කරගත් දක්ෂ නීතිඥවරියක වූ දිරිය දියණියක් පිළිබඳ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා කෙරෙන්නෙ එවන් වටපිටාවකදීය.
ඇය නමින් ෂගුෆ්තා තබාසුම් අහමඩ්ය. මුලින් ඇය මව්පියන්ගේ කීමට නීතිය හැදෑරීමට එකඟ වූ දියණියක් වූවාය. නීතිඥවරියක් වීමට ඇයට කිසිදු උවමනාවක් නොතිබිණි. නමුත් පියාගේ ඝාතනයත් සමඟ ඇයට නීතිඥවරියක වීමට පෞද්ගලිකවම උවමනා විය. ඇගේ උත්සාහයට කැපවීමට අවසානයේ නිසි වටිනාකමක් එකතු විය. දස වසරක අරගලයකින් පසුව ඇය පියාගේ ඝාතකයන් කවුදැයි ඔප්පු කර ඔවුන් සඳහා නීතිමය පියවර ගැනීමට ඇයට හැකි විය.
මහාචාර්ය ටාහේර්…..
ෂගුෆ්තාගේ පියා වූ මහාචාර්ය ටාහේර් සුඛෝපහෝගී මෝටර් රථයක හිමිකරුවකු නොවීය. ඒ වෙනුවට ඔහු පොදු ප්‍රවාහන සේවය තෝරාගෙන තිබුණි. නැතිනම් පා ගමනින් ගියේය. මහාචාර්යවරයා, බිරියට ඉවුම් පිහුම්වලට සහාය දුන් වෙළෙඳපොළට ගොස් බඩු ගෙනත් දුන් ආදරණීය සැමියෙකි. දරුවන්ට ඉතා ආදරයෙන් සැලකූ පියෙකි. විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ සහයෝගයෙන් වැඩ කළ මහාචාර්යවරයෙකි. මෙවන් යහපත් මිනිසකුට සිටි සතුරා සොයා ගැනීම නීතියට කිසිසේත්ම පහසු වූයේ නැත.
මහාචාර්ය ටාහේර් අහමඩ් රාජ්ෂාහි විශ්වවිද්‍යාලයයේ භූවිද්‍යා හා පතල් කැණීම් අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළේය. 2006 පෙබරවාරි 1 වැනිදා බසයක නැගී රාජ්ෂාහි විශ්වවිද්‍යාලයට ගිය මහාචාර්වරයාගේ දේහය ඊට දින දෙකකට පසුව රාජ්ෂාහි විශ්වවිද්‍යාලයේ අපවහන ටැංකියක තිබී හමුවූයේ ඔහුගේ මරණය අභිරහසක් ලෙස නොවිසඳුණු ගැටළුවක් පමණක් ඉතිරි කරවමිනි.
මහාචාර්යවරයා රාජ්ෂාහි වෙත ගොස් තිබුණේ රැකියා සගයකු වන ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්ට එරෙහිව තිබූ පැමිණිල්ලක් සම්බන්ධ රැස්වීමකට සහභාගී වීම සඳහාය. ආචාර්ය මොහියුදීන් විසින් සම්පාදිත කෘතියක, ඔහු විසින් සොරකම් කළ තොරතුරු අඩංගු බව මහාචාර්ය ටාහේර් සොයාගෙන තිබූ අතර එය මහාචාර්යවරයා විසින් පීඨයේ කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබුණි. කෙසේ නමුත් මහාචාර්යවරයා මෙම රැස්වීමට සහභාගී වී තිබුණේ නැත.
මහාචාර්යවරයාගේ සිරුර අපවහන ටැංකියක…..
පවුලේ ඇමතුම්වලට පිළිතුරු නොදුන් නිසා කලබල වූ මහාචාර්යවරයාගේ බිරිය තම පුත්‍රයා විශ්වවිද්‍යාලයට යවා සැමියා පිළිබඳව සොයා බැලවීමට කටයුතු කර ඇත. නිවසේ භාරකරු ජහන්ගීර් අලාම්, මහාචාර්යවරයා නිවසේ නොසිටි බව පැවසූ අතර, ඔහු පැමිණෙනු තමා කිසිසේත්ම නුදුටු බවත් කියා තිබේ. මහාචාර්යවරයාගේ පුත්‍රයා සාහිඩ්ට් 2006 පෙබරවාරි 3 වැනිදා පියාගෙ මළසිරුර විශ්විද්‍යාලයේ නිල නිවසේ අපවහන ටැංකියක තිබී හමු විය.
මියයෑමට පෙර මහාචාර්යවරයාට පහරදී ඇති බවට හදිසි මරණ පරීක්ෂකවරයා සොයා ගත්තේය. ඔහුගේ නිගමනය වුයේ මහාචාර්යවරයාට පහරදී ඝාතනය කර ඇති බවයි. සති කිහිපයකින්, කරුණු සොරකම් කිරීම සම්බන්ධයෙන් මහාචාර්යවරයාගේ චෝදනාවට ලක්වූ සගයා වන ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්, විශ්වවිද්‍යාල නවාතැන් භාරකරු ජහන්ගීර් අලාම්, අලාම්ගේ සහෝදරයා සහ මස්සිනා ඇතුළු තවත් හතර දෙනකු පොලිසියෙන් මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන්ගෙන් සිව්දෙනකු මරණ දණ්ඩනයට….

2008 දී, රාජ්ෂාහි පහළ උසාවියේ දී සැකකරුවක්ගෙන් සිව්දෙනකු වැරදිකරුවන්යැයි තීරණය කර මරණ දණ්ඩනයට නියම විය. දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කෙරිණි. සැකකරුවක් සිව්දෙනා අනතුරුව අභියාචනා කළ අතර නඩුව බංග්ලාදේශ මහාධිකරණයට යොමු කෙරිණි.
තම පියාගේ මරණයේ අභිරහස සෙවීම සම්බන්ධයෙන් ෂගුෆ්තා තබාසුම්ගේ මව, වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළද තමා කළ දෙයක් නැතැයි ෂගුෆ්තාට පෞද්ගලිකව කළකිරීමක් තිබුණි.
2011 දී මහාචාර්යවරයාගේ ඝාතන නඩුව මහාධිකරණයට ගෙන යන ලදී. අධිකරණය ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්ට ඇප ලබා දී, නඩු විභාගයේ කාලසීමාව සඳහා නිදහස් කෙරිණි. ඔහු නීතීඥයන් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයකගේ සේවය ලබා ගෙන තිබූ අතර නඩු විභාගය වඩාත් දුෂ්කර කරන බව නිසැක ලෙසම පෙනෙන්නට තිබුණි.
ෂගුෆ්තාට මේ මොහොතේදී පියාගේ නඩුව සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් කළ හැකි බවට අවබෝධ විය. 2012 වසරේදී නීති විද්‍යාලයෙන් උපාධිය අවසන් කළ ඇය පියාගේ නඩුවේ නීතිඥ කණ්ඩායම සමඟ එක් විය. බංගලිදේශයේ අපරාධ අධිකරණවල නීතිඥවරියන් දැක ගත හැකි වූයේ ඉතාම කලාතුරකිනි. ඇය ඉතා වෙහෙස වී නීතිඥ කණ්ඩායම සමඟ එක්ව පියා වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමට උත්සුක විය. ඒ අනුව 2013 දී නඩුව අවසන් වූයේ ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන්ට මෙන්ම විශ්වවිද්‍යාල නවාතැන් භාරකරු ජහන්ගීර් අලාම්ට ද මරණීය දණ්ඩනය තහවුරු කරමිනි. නමුත් නඩුව එතනින් අවසන් වූයේ නැත.
ඝාතකයන්ගේ පාපොච්චාරණය…
ජහන්ගීර් අලාම් සහ ඔහුගේ ඥාතීන් මහාචාර්යවරයාගේ ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කරමින් කියා සිටියේ මොහියුදීන් ඔවුන් වෙත පැමිණ ඔවුන්ට මුදල් ගෙවූ බව යි. මොහියුදීන්ගේ නීතීඥයන් තවත් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, මෙවර එය ඉදිරිපත් කෙරුණේ රටේ ඉහළම අභියාචනාධිකරණය වූ බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අංශයට ය. නඩුව තවත් වසර අටක් ඇදී ගියේය.
2022 අප්‍රේල් 5 වැනි දින විනිසුරු හසන් ෆෝස් සිද්දික් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මහාචාර්යවරයාගේ ඝාතන වරදට ආචාර්ය මියා මොහොමඩ් මොහියුදීන් වරදකරු බව නිගමනය කර ඔහුගේ මරණ දඬුවම තහවුරු කෙරිණි.
ෂගුෆ්තා තබාසුම් අහමඩ් නීතිඥවරිය තම තරුණ කාලයෙන් වැඩි කාලයක් ගත කළේ තම පියාට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමටය. ඇය ඒ අරමුණ වෙනුවෙන් සිය වෘත්තීයභාවය සකස් කර ගත්තාය. අනෙකුත් නඩු භාර නොගනිමින් පියාගේ නඩුවට පමණක් පෙනී සිටියාය. අවසානයේ ඇය ජයගත්තාය. තම පියාගේ ඝාතන නඩුව වෙනුවෙන්, තම පළමු නඩුවේ සිටම නොපසුබටව කටයුතු කරමින් වරද කරුවනට දඬුවම් ලබාදීමට ඇය වෙහෙස මහන්සි වූවාය . මහන්සියේ තරමට ෂගුෆ්තා ප්‍රථිපල නෙලාගැන්මට සමත්විය. යුක්තිය වෙනුවෙන් ශක්තිය මෙහෙය වන එවන් නීතිවේදිනියෝ රටකට සම්පතකි. ෂගුෆ්තා තබාසුම් අහමඩ්ගෙන් සමාජයකට ගත හැකි ආදර්ශ බොහෝමයකි. ෂගුෆ්තා තබාසුම් අහමඩ් , තම නාමය කෙදිනකවත් මැකී නොයන පරිද්දෙන් බංග්ලාදේශ අධිකරණ රාමුව තුළ සනිටුහන් කිරීමට සමත්විය.
රසිකා හේමමාලි
