ගුරු සංගම් නියෝජිතයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරිනියක වන ශ්‍රීනි නිලීකා ද සිල්වා අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. එකී ගුරු සංගම් නියෝජිතයන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන අවස්ථාවේ ඔවුන් වෙත සහාය පළකරමින් සියලුම ගුරු හා විදුහල්පති සංගම් නායකයන් අද පෙරවරුවේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටිති. සැප්තැම්බර් 16 දින පොදු ජන අධ්‍යාපන සේවක සංගමයේ පිරිසක්, වර්ජිත ගුරුවරුන් වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කරන බවට සරත් වීරසේකර අමාත්‍යවරයාට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කැඳවීම කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් 17 දින සරත් වීරසේකර අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වමින්, සහ වර්ජනයට සහභාගි නොවන ගුරුවරුන්ට තර්ජනය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ප්‍රකාශ කළ බවත්, එදිනම පොලිස් මූලස්ථානය ද නිවේදනයක් නිකුත් කරමින් එවැනි තර්ජන සිදුවන්නේ නම් 119 දුරකතන අංකයට හෝ ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස දැනුම් දෙන ලද බවත් ය.

මෙම දැනුම්දීම්වලින් පසු සැප්තැම්බර් 18 වන දින ඉහත සඳහන් කළ විදුහල්පතිවරයාට සහ ගුරුවරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දුරකතන ඇමතුම් මගින් දැනුම් දී ඇත.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ආඥා පනතට අනුව වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරු දැනුවත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් වෘත්තීය සමිති නියෝජිතයන්ට ඇති බවයි. එසේම වර්ජනය නොකළ කිසියම් ගුරුවරයෙකුට තර්ජනයක් තිබුණේ නම් පොලීසියකට පැමිණිලි නොකර සරත් වීරසේකර ඇමතිවරයාට පැමිණිලි කිරීම මගින් මෙය කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන බව ද එම සන්ධානය පෙන්වා දෙයි.