ඕවරයකදී පළමු වරට පිට පිට හයේ පහර 6 ක් එල්ල කළ ගාෆීල්ඩ් සෝබර්ස්ට අවුරුදු 85යි

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසින් විරුදාවලි ලද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන ඉතිහාසයේ පන්දු  ඕවරයකදී පිට පිට හයේ පහර 6ක් එල්ලකළ පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක්වීමට සමත්වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ ගාර්ෆීල්ඩ් සෝබර්ස් ය.

එලෙසින් වාර්තා පොතට එක්වූ ගාෆීල්ඩ් සෝබර්ස් පසුගියදා තම ජීවිත පොතේ 85 වැනි පියවර පසුකළේය.

1968 වසරේ අගෝස්තු 31 වැනිදා ග්ලැමෝගන් ප්‍රාන්තයේ මැල්කම් නෑෂ් නම් වූ පන්දු යවන්නාට එරෙහිව සෝබර්ස් මෙම දස්කම ඉටුකරන විට ඔහුගේ වයස අවුරුදු 32ක් විය.

ග්ලැමෝගන්හි ශාන්ත හෙලන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මැල්කම් නෑෂ් විසින් යැවූ මෙම පන්දුවාරයේ පළමු පන්දු 4ටම පිට පිට හයේ පහර 4ක් එල්ලකිරීමට සෝබර්ස් සමත්විය. පස්වැනි පන්දුවේදී ඉහළින්ම එල්ලකළ පහර සීමාව ආසන්නයටම උඩපන්දුවක් ලෙසින් ඇදී ගියද පන්දු රකිමින් සිටි රොජර් ඩේවිස් පන්දුව රැකගත් සමබරතාව රැක ගැනීමට අපොහොසත් වීමෙන් පන්දුවත් සමගින් සීමාවෙන් ඉවතට යාමෙන් ලකුණු 6ක් වශයෙන් සටහන් කිරීමට විනිසුරු එඩී පිලිප්සන් පසුබට නොවිය. සෝබර්ස් ලැබුණු අවස්ථාවෙන් අවසන් පන්දුවට නැවතත් සීමාවෙන් ඉවතට ඉහළින්ම පහරක් එල්ල කරමින් ලෝක වාර්තාව පිහිටුවීය.

ගාර්ෆීල්ඩ් ඕබ්‍රන් සෝබර්ස් 1936 ජුලි මස 28දා බාර්බඩෝස් බ්‍රිජ්ටවුන්හිදී මෙලොව එළිය දුටුවේය. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ ගැරී සෝබර්ස් නමිනි. සෝබර්ස් බාර්බඩෝස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් වරම් හිමිකරගන්නා විට ඔහුට යම්තමින් අවුරුදු 17 පසුවූවා පමණි. වමත් මඳ වේග පන්දු යවන්නකු ලෙසින් පළමු පෙළ ක්‍රිකට් වරම් ලැබූ ගැරී ඉන් වසරක් ගෙවීයාමත් සමගින් එනම් 1954 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල නියෝජනය කරමින් ටෙස්ට් වරම් ලැබුවේ තම ජීවිත මංසලේ 18 වැනි කඩඉම පසුකරනවාත් සමගිනි. පසුකලෙක තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් වඩාත් නම් දැරූ ගැරී සෝබර්ස් වසර 20ක් පුරා තම උපන් දේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට අගනා දායකත්වයක් ලබාදුන්නේය.

වමත් ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙසින් දිනෙන් දින සාර්ථකත්වයට පත්වූ ගැරී සෝබර්ස් 1958 වසරේදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කිරීමට සමත්විය. 1994 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේම සුපිරි වමත් පිතිකරුවකූ වූ බ්‍රයන් ලාරා විසින් බිඳ දමන තුරු ටෙස්ට් තරගයකදී පිතිකරුවකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

1965දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලේ නායකත්වයට පත්වන ගැරී සෝබර්ස් වසර 7ක් පුරාවට තම මව්රටට ඉමහත් කීර්තියක් ගෙනදීමට කටයුතු කළේය. 1970 වසරේදී ලෝක ක්‍රිකට් පිලේ නායකත්වය දැරීමට ද ගැරී සෝබර්ස් සමත්විය. පසු කලෙක ලෝක එක්දින කුසලාන ද්විත්වයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවශ්‍ය මාවත විවර කර තබමින් සෝබර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේ තම දිවියේ 38 වැනි පියවර පසුකරනවාත් සමගිනි.

වසර 20ක ජාත්‍යන්තර තරග දිවිය තුල ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කළ ගැරී සෝබර්ස් ශතක 26ක් සහ අර්ධ ශතක 30ක් සමගින් ලකුණු 8032ක් රැස් කළ අතර, කඩුලු 235ක් දවාලීමට සමත්වීය. පළමු පෙළ ක්‍රිකට් තරග 383කට ක්‍රීඩා කළ ඔහු ලකුණු 28000 සීමාව පසුකළ අතර, කඩුලු 1000 සීමාව ද ඉක්මවීය. ඔහු බාර්බඩෝස් ක්‍රිකට් සමාජ පිලට අමතරව ඕස්ට්‍රේලියාවේදී දකුණු ඔස්ට්‍රේලියා පිලත් සහ එංගලන්තයේදී නොටින්හැම්ෂයර් ප්‍රාන්ත පිලත් නියෝජනය කළේය. එකම එක එක්දින ජාත්‍යන්තර තරගයකට පමණක් සෝබර්ස් හට හැකියාව ලැබුණේ ඒ සමයේ එම තරග රටාව ප්‍රචලිත නොවුණු නිසාවෙනි.

ගැරී සෝබර්ස් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණිය විසින් 1975 වසරේදී ඔහුව නයිට් නාමයකින් පිදුවාය. 1980 වසරේදී ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූ සෝබර්ස් බාර්බඩෝස්හි ජාතික වීරයෙක් වශයෙන් 1998 වසරේදී එරට පාර්ලිමේන්තු පනතකින් නම් කරනු ලැබුවේය. ගැරී සෝබර්ස් 2009 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව විසින් පුද්ගලයකුට තම ජීවිතයේදී එක්වරක් පමණක් ලැබිය හැකි අයි.සී.සී. ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. 1958, 1960, 1962, 1964, 1965, 1966, 1968 සහ 1970 වසර වල විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 8 වරක් සම්මානයට පාත්‍රවිය.

2004 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් තෝරා ගනු ලබන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා වෙත ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් කුසලානය පිරිනැමීමට කටයුතු කළේ ඔහු වෙත ගෞරවයක් හිමි කර දීමේ අරමුණින් යුතුවයි.

ලෝක පූජිත ශ්‍රීමත් ගැරී සෝබර්ස් මහතා පිළිබඳව නිරන්තරයෙන්ම අගය කිරීමට 1996 විල්ස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කළේ ඒ මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතරවාරයේදී ඇතිවූ ගුරු ගෝල සබඳතාව නිසාවෙනි. ශ්‍රීමත් ගැරී සෝබර්ස් මහතා වෙත ගෞරවය පළ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ක්‍රිකට් තරගාවලියන් වෙනුවෙන් 2015 වසරේ සිට සෝබර්ස් – තිසේරා කුසලාන පිරිනැමීමට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් කටයුතු කළහ.

www.batsman.com වෙබ් අඩවිය ඇසුරෙනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *