ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වෙළද සංගම් රැසක් කඩ වසයි

ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නගර කිහිපයක වෙළදසැල් වසා දැමීමට ව්‍යාපාරික වෙළද සංගම් තීරණය කර තිබෙනවා. අම්බලන්තොට නගරයේ සියලු වෙළදසැල් අද සිට වසා දැමීමට පියවර ගත් බවයි අම්බලන්තොට වෙළද සංගමය සඳහන් කළේ. එම සංගමය පැවසුවේ අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම වැලැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

දිවුලපිටිය මරදගහමුල නගරයේ  සියලු කඩසාප්පු ද හෙට රාත්‍රි 09 සිට වසා දැමීමටද මරදගහමුල එක්සත් වෙළද සංගමය තීරණය කර තිබෙනවා. ගම්පහ නගරයට ජනතා ඒකරාශීවීම වැලැක්වීම සඳහා ගම්පහ නගරයේ වෙළදසැල් හෙට සිට සතියක කාලයක් වසා දැමීමට නාගරික එක්සත් වෙළද සංගමයද තීරණය කර තිබෙනවා. මාතලේ පාලපත්වල නගරයේ වෙළදසැල්වල සේවකයින් 67 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනීමත් සමග එම නගරයේ වෙළදසැල් සතියක කාලයක් වසා දැමීමටද තීරණය කෙරුණා.    

කැකිරාව ප්‍රදේශය ආශ්‍රීතව පවතින කොරෝනා අවදානම හේතුවෙන් අද සිට ලබන 27 වනදා දක්වා කැකිරාව නගරයේ වෙළදසැල් වසා දැමීමටද තීරණය කර තිබෙනවා. කැකිරාව ප්‍රදේශීය කොවිඩ් කමිටුව අද දහවල් රැස් වූ අවස්ථාවේදී වෙළද සංගම් මෙම තීරණයට එලැඹුනු බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ. 

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ජනතාව සිය උපරිම දායකත්වය ලබා දීම මෙම මොහොතේ අත්‍යාවශ්‍ය බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.