තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 204 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැතවෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය මේ වන විට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වේ.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල තම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 203 රැස් කිරීමට සමත් විය. දෙවන තරගයේ මෙන්ම මෙම තරගයේ ද ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක මෙම තරගාවලියේ පිට පිටම තුන්වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ලකුණු 3 ක් තිබිය දී දැවී ගියේය. චරිත් අසලංක ලකුණු 47 යි, ධනංජය ද සිල්වා ලකුණු 31 ක් ද දුෂ්මන්ත චමීර ලකුණු 29 ක්ද වාර්තා කිරීමට සමත් විය. ලකුණු 166 කට කඩුලු 8 ක් බිද වැටී තිබු අවස්ථාවේ දුෂ්මන්ත සහ මහේෂ් තීක්ෂණ ලකුණු 200 සීමාව දක්වා කණ්ඩායම රැගෙන ඒමට සමත් විය.

පන්දු යැවීමේ දී නායක කේෂවී මහරාජ් කඩුලු 3 ක් ද ෂම්සි සහ ලින්දේ කඩුලු 2 ක් ද මැක්රාම් සහ මුල්ඩර් එක් කඩුල්ල බැගින් ද බිද හෙලනු ලැබීය. දග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බදු මෙම තණතීරුවේ දකුණු අප්‍රිකානු දගපන්දු යවන්නන් පන්දුවාර 40 ක් යැවූ අතර මෙයට පෙර දකුණු අප්‍රිකානු දගපන්දු යවන්නන් තරගයක යවා තිබූ වැඩිම පන්දුවාර ගණන වනුයේ 33 කි.

ඒ අනුව තීරණාත්මක තරගය ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා දග පන්දු බලඇණිය හමුවේ ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කයක් දකුණු අප්‍රිකාවට ලැබී තිබේ.