
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට සිදුකළ බව කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර දින 03 ක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසට ඒ සඳහා පත්කළ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත සහ බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ තමන් රෝගී රැදවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණි බවයි එම වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වුණේ.
එහිදී එම වෛද්‍යවරයා මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙස දන්වා ඇති අතර අවශ්‍ය තොරතුරු ලබා ගත් පසුව කැඳවන බව ද මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙනවා. ඒ සමග රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුනු බවයි අදාල වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වුණේ.
රිෂාඩ් බදියූදීන් මන්ත්‍රීවරයා මෙහිදී තර්ජනාත්මකව සහ අපහාසාත්මකව බැන වදිමින් ආවේගශීලිීව හැසිරුණු බවද අදාල පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වුණා.
ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා, වෛද්‍යවරයා සහ එම අවස්ථාවේ බෙහෙත් ලබා ගැනීමට පැමිණ සිටි රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
එම පරීක්ෂණයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වැරදිකරුවෙකු ලෙස අනාවරණය වුවහොත්, මහේස්ත්‍රාත්වරයකුගෙන් සමන්විත බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති.
මේ අතර මන්ත්‍රීවරයා, වෛද්‍යවරයා වෙත සිදුකළා යැයි කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද ලිඛිතව දැන්වූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය වැඩිදුරටත් සඳහන් කළේ.
උපුටා ගැනීම – පාර්ලිමේන්තු පුවත්