QR කේතයෙන් ගොවීන්ට පොහොර

ගොවි ජනතාවට ඉදිරියේදී QR කේතයක් හඳුන්වා දීමට තමා අදහස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පෞද්ගලික ව්‍යවසායකත්ව වැඩමුළුවකට සහභාගි වෙමිනි.

කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත් වූ බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළ ද පොහොරවලට අමතරව සහන ලබා දීමට කටයුතු කරන බවත්ය. QR ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මේ වන විට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද මහින්ද අමරවීර මහතා පැවසීය.

සියලුම ගොවි නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සඳහා ලබාගැනීමට ද කටයුතු කර ඇති බවත් රජය හෝ අමාත්‍යවරුන් වෙනස් වන විට වෙනස් නොවන, කෘෂිකර්ම ජාතික ප්‍රතීපත්තියක් සකස් කිරීම තම අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.