
මේ හදවතක් නොමැති ආණ්ඩුවේ බිල්ලක් බවට දරුවන් පත් නොකරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
දැනට රට තුළ ක්‍රියාත්මක වන ගුරු, විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාවලිය හා 21 වෙනිදා විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පාසල් අධ්‍යාපනය පිළිබඳව මතුව තිබෙන සංකූලතා සම්බන්ධයෙන් අද (ඔක්තෝබර් 15) දින පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා….
“අපි කවුරුත් දන්නවා මේ ගුරු සේවය 1995 දි ආරම්භ වුණා. ඊට පස්සේ රජයේ සේවකයින්ට ලබා දීපු වැටුප් වර්ධක වලින් තමන්ට වැටුප් විෂමතාවයක් ඇති වුනාය කියන පදනම මත ගුරුවරු හා විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ පිළිබඳව විශේෂත්වය වෙන්නේ මේ ආණ්ඩුවම අධ්‍යාපන අමාත්‍යයංශයේ අතිරේක ලේකම්තුමියක් වෙච්ච සුබෝධනි මහත්මිය ගේ මූලිකත්වයෙන් වැටුප් විෂමතාවයන් විමසීමටයි කියලා කමිටුවක් පත් කළා. ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදීත්, උස් හඬින් කියපු දෙයක් තමයි, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා වහාම විසඳනවාය කියන තේමාව. මේ නිසාම ගුරුවරුන්ගෙන් 70% කට අධික පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට, ඒ වගේම මේ රජයට, ඡන්දය ලබා දුන්නා. ඒ අනුව සුබෝධනී වාර්තාව නිකුත් වුණා. ඒ නිකුත් වීමෙන් ගුරුවරු අපේක්ෂා කරන යම් ප්‍රමාණයක වැටුප් විෂමතාවය වෙලා ඇත්තටම ගුරු වෘත්තිය සමිති, විදුහල්පතිවරු ආණ්ඩුවේ මේ වාර්තාව පිළිගත්තා. නමුත් ඊට පස්සේ මොකද කළේ? තමන්ම හදපු වාර්තාවට පිටුපා යමින් ක්‍රමයෙන් ආණ්ඩුව ගුරුවරුන්ගේ ඉල්ලීම් නොතකා හරින්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. මේවා මර්ධනය කරන්න කල්පනා කරා. ඒ වගේම මේකට අපහාස කරන්න පටන් ගත්තා. ගුරු නායකයින් අත්අඩංගුවට අරගෙන සිරගත කළා. ඊට අමතරව ගුරු වෘත්තීය ක්‍රියාමාර්ග වලට නිරෝධායන නීති දාලා ඉතාම කැත විදිහට ඒවා මර්දනය කරන්න උත්සාහ කළා. ඊට අමතරව නූගත් ආණ්ඩුවේ දේශපාලකයෝ ලවා ගුරුවරුන්ට කාලකන්නි, ඒ වගේම ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න ඕනේ. ආදී වශයෙන් ක්රියා කළා. ඒ වගේම ආණ්ඩුවේ දේශපාලන අනුචරයින් තැන් තැන්වල ගුරුවරුන්ට එරෙහිව, ගුරු උද්ඝෝෂණ වලට එරෙහිව ක්‍රියා කරන්න පටන් ගත්තා, අපහාස කරන්න පටන් ගත්තා. මේ ආදී වශයෙන් ගුරුවරුන්ට එරෙහිව සමාජය නැගී ඉඳවලා, ගුරුවරුන් මර්දනය කිරීම ආණ්ඩුවේ අභිලාෂය වුනේ. නමුත් ගුරුවරු මේ රටට ආදර්ශයක් දීලා තියෙනවා.”
පක්ෂ දේශපාලනයේ නියැලුණු ගුරු වෘත්තීය සමිති මෙන්ම එසේ නොවන ගුරු සමිති එක්ව බැඳී වෘත්තීය සමිති සන්ධානයක් ලෙස ගෙනගිය අධිෂ්ඨානශීලී අරගලයේ ප්රතිඵලයක් ලෙස මුළු රටේම ගුරුවරු 250,000 ක් සහ විදුහල්පතිවරු 16,000 ක් එක මිටට සංවිධානය වීමේ ප්‍රතිඵලයක් ලෙස පමා වී හෝ ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සිදු විය. “දැන් ලබන විසි එක් වෙනිදට මොකද වෙන්නේ? අපේ දරුවෝ ඉන්න දෙමව්පියෝ හැටියට මේ රටේ දෙමාපියෝ අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා විසි එක් වෙනිදට විධිමත්ව පාසල් විවෘත කරලා අවුරුදු දෙකකට අපේ දරුවන්ට අහිමි වෙච්ච අධ්‍යාපනය නැවත ලැබෙයි කියලා. දරුවෝ පාසල් වලින් ඈත් වෙලා තියෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා. නිදහස් අධ්‍යාපනය බිඳ වැටිලා තියෙන්නේ. අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 40% යි ඔන්ලයින් පන්ති වල අධ්‍යාපනය ලැබුවේ. ඇති හැකි දෙමාපියන්ට විතරයි අධ්‍යාපනය අවශ්‍ය කරන දුරකථන, දත්ත, මේවා ලබා දෙන්න පුළුවන් වුණේ. ගුරුවරු හරහා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටමට ගේන්න පුළුවන් වුණේ. 60% ක් මේ රටේ නැති බැරි මිනිසුන්ගෙ දරුවන්ට අධ්‍යාපනය අහිමි වුණා. අපි මේක කීප වතාවක්ම අවධාරණය කළා. නමුත් මේ ආණ්ඩුවට ඒ ගැන කිසිම කම්පනයක් තිබුන්නෑ. මොකද ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නේ විදේශ වල. ඒ නිසා ඒගොල්ලන්ට. මේ රටේ අපේ දරුවෝ පිළිබඳ කිසිම සහකම්පනයක්, අනුකම්පාවක්, ලෙන්ගතු බවක්, හදවතක් නැති මිනිස්සු හැටියට තමයි හැසිරුනේ.”
මෙහි ප්‍රතිපලයක් හැටියට සුබෝධනී වාර්තාවෙන් තුනෙන් එකක් ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, එම තුනෙන් එකෙන් මෙවර අයවැයේ දී ලබා දීමට සූදානම් බව පැවසූයේ කොටසකි. එනම් සම්පූර්ණ වාර්තාවෙන් නවයෙන් එකක පමණ ප්‍රමාණයකි. තවත් තුනෙන් දෙකක් ඊළඟ අයවැයෙනි. මේ පිළිබඳව ගුරු වෘත්තීය සමිතිවල ස්ථාවරය වූයේ ඉන් සෑහීමකට පත් විය නොහැකි බැවින් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවය. තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුව ඉල්ලන්නේ වහාම 21 වෙනිදාට පාසල් ආරම්භ කිරීමට ගුරුවරුන්ගේ සහාය අත්යාවශ්ය බව යැයි රණවක මහතා පෙන්වා දුන්නේය.
ගුරු වෘත්තීය සමිති, විදුහල්පති, වෘත්තීය සමිති සමග එක්ව එකඟතාවයෙන් යුතු නිශ්චිත පොරොන්දුවක් ලබා දී ලබන නොවැම්බර් මාසයේ එන අයවැයෙන් මේ ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු වී ලිඛිතව ඒ පිළිබඳව කටයුතු කොට, විශේෂයෙන් මුදල් ඇමතිවරයා ක්‍රියා කළ යුතු බව තම ස්ථාවරය බැව් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
“ඒ අතරේ, අපි, අපේ ගුරුභවතුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා හිටිනවා, දරුවන් ගැන හිතලා, මේ හදවතක් නැති ආණ්ඩුවේ බිල්ලක් බවට, අපේ දරුවෝ පත් කරන්න එපා. ඔබ හැම සියලුදෙනාම, දෙමාපියොත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා, මේ පිළිබඳව කටයුතු කරන්න. විශේෂයෙන්ම තව සති කීපයකින් අයවැය එන්න නියමිතයි. අයවැය යෝජනා ගේන්න නියමිතයි. එහිදී බලාගන්න පුළුවන් මේ ගුරු ඉල්ලීම ලැබෙනවද? නැද්ද? කියලා. ඔබේ අරගලය ඉදිරියට ගෙනියනවද? නැද්ද? කියන එක. ඒ නිසා ඔබේ පැත්තෙනුත්, දෙමාපියන් සමග මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගෙන, නම්‍යශීලී වෙලා, හදවතක් නැති ආණ්ඩුවට, පිළිතුරක් දෙන්න, හදවතක් ඇති මිනිස්සුත් එක්ක තවත් ශක්තිමත්ව එකතුවෙන්න කියන ඉල්ලීම අපි කරනවා.”
“මොකද, ගුරුවරුන්ගේ සමගිය, ජනමාධ්ය වලින් ගුරුවරුන්ට ලැබිච්ච සහයෝගය, මේ රටේ මහජනයා ඒ වෙනුවෙන් දක්වපු සහනුකම්පනය දරුවෝ දක්වපු අනුකූලතාවය, මේ හැම දෙයක්ම උපස්තම්භක වුණා ගුරු සටන මේ ඉතිහාසයේ වැදගත්ම අරගලයක් බවට පත් කරන්න. ගුරුවරයාට සමාජ ගෞරවය නැවත ලබාගන්න. මොකද මේ රටේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා වෙන්න හිටපු ඩී. බී. ජයතිලක ගුරුවරයෙක් ඒ වගේම දෙමළ ෆෙඩරල් පක්ෂය බිහිකරපු එස් ජේ වී චෙල්වනායගම් කියන්නේ ගුරුවරයෙක්. ඩබ්ලිව් දහනායක කියන්නේ ගුරුවරයෙක්. නිදහස් අධ්‍යාපනයේ පියා මේ රටේ පළවෙනි විප්ලවය දියත් කරපු ඒ කන්නන්ගර මැතිතුමා ගුරුවරයෙක්. ඉතින් ඒ නිසා එවැනි ශ්‍රේෂ්ඨ ගුරුවරු මේ රටේ දේශපාලන ක්‍රියාවලියේ නියැලිලා ඉඳලා තියෙනවා. ඒ අය දේශපාලනයේ තීරක මෙහෙවරවල් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා එවැනි ගුරු පරම්පරාවක් නැවත ඇතිකර ගැනීම අපට අවශ්‍යයයි.”
ඒ වෙනුවෙන් දෙමාපියන් සමග සාකච්ඡා කොට ගුරු ගෞරවය ඉදිරියට ආරක්ෂා කරගන්නා ලෙස හෙතෙම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.
“ආණ්ඩුවට අපි කියනවා හදවතක් නැති පිරිසක් හැටියට ක්‍රියා නොකොට වහාම මේ පිළිබඳව කටයුතු කරලා ලබන සඳුදා වනවිට විසඳුමක් ලබා දෙන්න ව්‍යාජ පිටට තට්ටු කිරිම් වලින් ව්‍යාජ හිනා කතා වලින් අපහාස වලින් අවමාන වලින් මර්දනයෙන් ගුරු විදුහල්පතිවරු මර්ධනය කරන්න බැරි බව දැන් ඉතාම පැහැදිලි වෙලා තියෙන නිසා සාධනීය විසඳුමකට ඇවිල්ලා ලබන අයවැයෙන් මේවා ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත පිළිතුරක් ලබාදෙන ලෙස මුදල් අමාත්යවරයා, අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.”