දිනේෂ් ගේ රන් ලෝක වාර්තාව

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙයට සුලු වේලාවකට පෙර ලෝක වාර්තාවක් ද සමග රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේදී අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම ලෙස ඉතිහාසගත වෙයි. එමෙන්ම මෙවැනි ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පළමු ක්‍රීඩකයා ඔහු වේ.

දිනේෂ් ප්‍රියන්ත තම පළමු උත්සහායේදීම මීටර් 62.58 ක් දුර හෙල්ල විසිකරමින් රන් පදක්කමට ළංවූ අතර එයට කලින් ඉන්දීය ක්‍රීඩක සන්දාර් සිංග් දක්වා තිබූ මීටර් 62.26 ක දුර එම දක්ෂතාවෙන් අබිබවා ගියේය. අනතුරුව දිනේෂ්ගේ තෙවැනි උත්සහායේදී මීටර් 67. 79 ක් විසිකොට පැරාලිම්පික් F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව පිහිටුවිය. මෙහි පැරණි ලෝක වාර්තාව ඉන්දීය ක්‍රීඩක දේවින්ද්‍රා මීටර් 63.97 කින් 2016 වසරේ රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී පිහිටුවා තිබූ අතර ඔහු අද දිනයේ මීටර් 64.35 කින් රිදී පදක්කම දිනා ගත්තේය. මෙහි ලෝකඩ පදක්කම මීටර් 64.01 කින් ඉන්දියාවේම සන්දාර් සිංග්ට හිමි විය. පසුගිය 2016 රියෝ පැරාලිම්පික් උලෙළේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

දිනේෂ් ලෝක වාර්තාව පිහිටවු F46 කාණ්ඩය යනු වැලමිටෙන් පහළ අතක් අප්‍රාණික හෝ අහිමි යන ක්‍රීඩකයන් සහභාගිවන වර්ගීකරණය වේ. දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවෙකි.