පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල් ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක අසභ්‍ය වීඩියෝවක් සඳහා රූගත කිරීමකට යොදාගත් යුවළ සම්බන්ධ සිදුකළ පොලිස් විමර්ශන අනුව සිද්ධියට සම්බන්ධ කාන්තාව හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියක වන අතර ඇය සමග සම්බන්ධවූ පිරිමි පුද්ගලයාත් ඇයත් මෙවැනි වීඩියෝ කිහිපයක්ම මීට පෙරත් නිෂ්පාදනය කර තිබෙන බව අනාවරණය වී තිබේ. ඔවුනගේ අරමුණ වී තිබෙන්නේ ඇමරිකානු අසභ්‍ය වීඩියෝ වෙබ් අඩවි කිහිපයක් සඳහා අදාළ වීඩියෝ ක්ලිප් නිෂ්පාදනය කර උඩුගත කිරීමය. මෙවැනි උඩුගත කිරීම්වලට එකී වෙබ් අඩවි ඔවුනට මුදල් ගෙවන අතර එලෙස ගෙවන්නේ වීඩියෝවට ලැබෙන නැරඹුම් වාර ගණන අනුවය. ඒ නිසා මෙම විඩියෝ ක්ලිප් ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළද යම් ‘ඇවිස්සීමක්‘ ඇති කිරීමට ඔවුන් උනන්දුවී ඇති අතර එලෙස ප්‍රසිද්ධ කිරීම මගින් වැඩි නැරඹුම් ලබා ගැනීම අරමුණ වී ඇතැයි සඳහන්ය.

මේ ආකාරයේ වීඩියෝ ගණනාවක්ම මෙකී යුවළ විසින් මින් ඉහතත් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර එකක් මීමුරේ පදනම් කරගෙන රූගත කර තිබුණි. නමුත් වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ පහන්තුඩාව වීඩියෝවටය.

මේවාට ප්‍රවර්ධන වීඩියෝ කොටස් උඩුගත කිරීමට යොදාගෙන ඇත්තේ මෙකී කාන්තාවට අයත් ගිණුමකින් වන අතර ඇය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු සොයා ගන්නට එම සම්බන්ධය ද උපකාරයක් වී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව අසැබි වීඩියෝ නිෂ්පාදනය දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම නිෂ්පාදනයට කාන්තාව සමග සම්බන්ධ වූ පුද්ගලයා ගැන ද තොරතුරු ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් නොබෝ දිනකින්ම අත්අඩංගුවට ගන්නට හැකිවෙතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා විශ්වාසය පළ කර තිබේ.

මේ අතර අදාළ අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේ දී සංසරණය වූ බවත් ඔවුන් සොයා දඩුවම් කරන ලෙසත් ඉල්ලා දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින්ද පැමිණිල්ලක් ඊයේ ගොනු කර තිබුණි.

උපුටා ගැනීම – එමිල් රොහාන් ෆේස්බුක් පිටුවෙනි