නිලේන්ද්‍ර දේශප්‍රිය අලුත් වැඩකට අතගසයි

ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රය තුළ ⁣පෙරළිකාර වැඩ කිහිපයක්ම කළ චරිතයක් තමයි නිලේන්ද්‍ර දේශප්‍රිය කියන්නේ. ඔබට මතක ඇති සිරස රූපවාහිනියේ සිරස සුපර්ස්ටාර් වගේම ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩ සටහනේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළේ ඔහු. මේ වෙනකොට ඔහු අලුත් රූපවාහිනී නාලිකාවක ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. මේ අලුත් රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීමත් සමඟ මෙතෙක් රූපවාහිනි නාලිකාවක් වශයෙන් ලංකාව තුළ කටයුතු කළ UTV නාලිකාව එම නමින් විකාශය අත්හිටුවනු ලබන අතර අලුත් නාලිකාවේ විකාශය ඇරඹෙන්නේ එතැන් සිටයි. ⁣මේ වන විට එම නාලිකාවේ පර්යේෂණ විකාශය ඇරඹි තිබෙන අතර එය UHF 54 -කොළඹ, Dialog TV නාලිකා අංක 23,  PEO TV නාලිකා අංක 127  විකාශය කරනු ලබයි. තවත් වැදගත් කාරණාවක් වන්නේ මීට කලකට පෙර මහත් කතාබහට ලක්වූ නදීක කරුණානායක නාලිකාවේ වඩා වගකීම් සහිත  ධූරයක් හොබ වීමට සුදානම් බවයි. ⁣එමෙන්ම එම නාලිකාව සමග මේ වන  විටත්  ජනප්‍රිය චරිත කිහිපයක්ම වැඩ කටයුතු වලට සම්බන්ධ වෙමින් සිටිනවා. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම විකාශය වන රූපවාහිනී නාලිකාවක් ඇරඹීමයි. මෙම රූපවාහිනි නාලිකාවේ ආගමනයත් සමඟ ඔබට නව ත්‍රෛ භාෂික අසදෘශ රූපවාහිනී නාලිකාව හා සමවැදීමේ හැකියාව ලැබෙනු ඇත.