මම ගෙදර ආවා නිවන්සුව පැතු අයට ස්තූතියි – නයනතාරා

මම ගෙදර ආවා නිවන්සුව පැතු අයට ස්තූතියි – නයනතාරා තැබූ සැර සටහන

නයනතාරා වික්‍රමආච්චි කියන්නේ අපේ ප්‍රේක්ෂකයන් බොහොම ආදරේ කරන චරිතයක්. දෙවෙනි ඉනිමේ දෙවුමි ලෙස ඈ හැමෝගේම ආදරය දිනා සිටිනවා. පසුගිය දා කොවිඩ් රෝගය වැළඳී ඇය රෝහල් ගත කළා.ඒ මොහොතේ ඈ රෝහලේ සිට සමස්ත ජනතාවගෙන් කළ ඉල්ලීම ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ප්‍රචලිත වුණා. ඇය මිය ගිය බවටද ඇතැන් සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනගියා. පූර්ණ සුවය නොලබා කොවිඩ් රෝගය සුවවී නිවෙසට පැමිණි නයනතාරා තමාගේ ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුණා.

2021/08/18
වේලාව රාත්‍රී 10.10
නිවසේ සිට ලියමි ✍️

තවමත් පූර්ණ සුවය නොලැබුවද ඉතාම දරුණු වූ කාලසීමාව පසු කල බැවින් ඊයේ දිනයේ රෝහලේ සිට වෛද්‍ය උපදෙස් මත මා නිවස කරා පැමිණියෙමි. නවලෝක රෝහල් අධිපති ජයන්ත ධර්මදාස මහතාට සහ එහි දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරැන්, හෙදියන් ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටද,OZO Colombo හි සියලුම දෙනාටද මාගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.

එමෙන්ම මා හට පෙම් බදින සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ඔබටද, මා බෙහෙවින් ආදරය කරන මාගේ ගෞරවනීය ක්ෂේත්‍රයේ මා පිළිබද නිබදව සොයා බැලූ ප්‍රවීණයාගේ සිට නවකයා දක්වා සියලුම දෙනාටද,සියලු රෑපවාහිනී නාලිකාවන්ටද, මා හට නිරන්තරයෙන් ආශිර්වාද කල සියලු ආගමික නායකයින්ටද,මාගේ සියලු හිත මිතුරන් හා අසල්වාසීන්ටද, මාගේ මවගෙන් පවා මා පිළිබද කරැණු විමසූ සියල්ලන්ටද මාගේ හද පිරි ගෞරවය හා ආදරය පිරි ස්තූතිය පුද කර සිටිමි. ඔබ සියලු දෙනාගේ සෑම වචනයක් පාසා මා මේ තාක් හෝ සුව වීමට විශාල ශක්තියක් හා ආශිර්වාදයක් වූ බව කිව යුතුමය. මාගේ අසනීප තත්වය හේතුවෙන් සියලු දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩයන්ට පිළිතුරැ දැක්වීමට නොහැකි වීම පිළිබදව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

එමෙන්ම මා මෙයද කිව යුතුය, ජීවත්ව සිටින මාගේ මරණයට ධර්මාවබෝධයකින් තොරව නිවන් සුව ප්‍රාර්ථනා කල සහ මා ප්‍රකාශ කල දෑ වරදවා හුවා දක්වමින් ද්වේශ සහගත ලෙස මා හට ආමන්ත්‍රණය කල ඉතා සුළුතරයක් වූ ඔබටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.මා විදි ඛේදනීය අත්දැකීම කිසිදු විටක ඔබ කිසිවෙකුට අත්විදීමට නොලැබේවායි මාගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා!!!

~ නයනතරා වික්‍රමආරච්චි ~