පොට්ට නවුෆර් කොවිඩ්වලින් මරුට

විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොවිඩ් ආසාදිතව සිටියදී මියගිය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් පරීක්ෂණ කටයුත්තක් සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබුණි.

එහිදී ඔහුගේ මරණය සිදුවූ බව වාර්තා වේ.

2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය. මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යේශ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.

ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි.

අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී.

Scroll to Top