
පොළොන්නරුව නගරය ආසන්නයේ ඇවිදින මංතීරුවක් නොමැතිවීම හේතුවෙන්, පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සත්භාවයෙන් හා යහපත් අරමුණින් ආරම්භ කරන්නට ඇතැයි තමන් සිතන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ මහාවේල්ලේ ඇති ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම මෙන්ම ගොවිජනතාවට එහි ඇති දැඩි සම්බන්ධය සැලකිල්ලට ගෙන ඒ පිළිබද ගොවි ජනතාව සහ මහා සංඝරත්නය දැනුවත් කිරීමට තිබු බවයි.
එවැනි දැනුවත් කිරීමක් සිදු වූයේ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හෝ නැවැත්විමට මුලින්ම තීරණයක් ගැනීමට හැකියාව තිබූ බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
මෙම ප්‍රශ්නය මතුවීමේදී තිසා වැව, කුරුණෑගල නගරයේ වැව, නුවර වැව සහ තිස්සමහාරාම වැව මෙවැනි ඇවිදින මංතීරු ඉදිකර ඇති බව වෙබ් අඩවිවල පළකර තිබුණා.
එහෙත් එම වැව්වලට වඩා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තාක්ෂණික වෙනස්කම් රාශියක් ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී ඇත්තේ. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී සිය අත්දැකිම් අනුව ප්‍රධාන කරුණු 3ක් ඉටු විය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ව්‍යාපෘතිය පිළිබද ශක්‍යතා අධ්‍යයනයක් කිරීම, විශේෂඥයින්ගෙන් උපදේශන සේවයක් ලබාගැනීම සහ ඉදිකිරීම එම කරුණු වනවා.
එමෙන්ම එම කරුණු 3 ආයතන 3කින් සිදු කළ යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ.
මෙම ප්‍රශ්නයට පහසුම විසදුම දැනට යෝජිත ජලාශයේ බටහිර දෙසින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය නවත්වා පරාක්‍රම සමුද්‍රයේ මහාවේල්ල නැගෙනහිර අවසාන කොටසට පැත්තෙන් ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව ඉදිකිරීමයි.
මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මහා සංඝරත්නයේ සහ ගොවිජන සංවිධානවල එකගතාව මත මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.