ඇමතිකමින් අයින් වෙනවා මහින්ද අමරවීර කියයි

රාසමානික්කම් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත්කොට තිබේ.  මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි එරටට යැවීමේ ජාවාරමකට නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රිවරයා 07 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට යොමු කිරීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට මන්ත්‍රිවරයෙකු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වගකීමක් ඇති අමාත්‍යවරයෙකු ලෙස තමා අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර පවතින අණ පනත්වලට අනුව මෙරට සම්පත් නීතිවිරෝධී ආකාරයෙන් පිටකිරීමේ හැකියාවක් නොමැති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අදාළ චෝදනාව රාසමානික්කම් මන්ත්‍රිවරයා විසින් ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධූරයෙන් මෙන්ම මන්ත්‍රී ධූරයෙන් ද ඉවත්වීමට තමා සූදානම් බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.