මාලිංග යළි ක්‍රිකට් පිටියට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමේ අදහසක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි. 

ලසිත් මාලිංග වැනි අත්දැකීම් සපිරි ක්‍රීඩකයකුගේ උපදේශකත්වය තරුණ ක්‍රීඩකයන්ට ප්‍රයෝජනවත් බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා, ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බව සඳහන් කළේය.

මාලිංග සමග මෙම අදහස සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා කර නොමැති බවත් ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය. මාලිංගට මේ වන විට විදේශ කණ්ඩායම් රැසකින් වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා ආරාධනා ලැබී ඇති බව දැනගන්නට තිබේ.

තිස්අටවැනි වියේ පසුවන ලසිත් මාලිංග ටෙස්ට් තරග 30 කදී, එක්දින ජාත්‍යන්තර තරග 226 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු 101 ක්. එක්දින කඩුලු 338 සහ විස්සයි20 කඩුලු 107 දවා ගැනීමට සමත්ව තිබේ.