කලකට පසු දිල්හානි එක්ක ජගත් කරන වැඩේ

ජගත් මනුවර්ණ කියන්නේ රංගන ශිල්පියෙක් විදියට මෙන්ම අධ්‍යක්ෂවරයකු ලෙසටත් දස්කම් ප්‍රකට කළ චරිතයක්. සීමිත චරිත සංඛ්‍යාවකින් විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් අතර නම රැන්දූ ජගත් ගැන පහුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණෙ නැති තරම්. මේ නිසාම අපි ජගත් එහෙමත් නැත්නම් ආදරණීය ජගා ගැන හොයල බලන්න හිතුවා. ජගත් බන්ධනාගාර ගතවුණා කියලත් කටකතාවක් ටික කාලෙකට ඉස්සර පැතිරුණු නිසාම අපි ජගත් ගැන ආරංචි කරල බැලුවා.

ජගත් මෙහෙම බන්ධනාගාර ගතවෙලා තියෙන්නේ ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ චරිතයක් සඳහායි. ප්‍රවීණ ,නවක රංගන ශිල්පීන් රැසක් එක් කරගෙන නිර්මාණය වන මේ ටෙලිනාට්‍ය මේවනවිට වැඩ අවසන් බවත් ආරංචියි.

ශේවියර් කණිෂ්ක, රන්දික ගුණතිලක, තරින්දි ප්‍රනාන්දු, නදීෂා හේමමාලා, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ, සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, බුද්ධික දමයන්ත වැනි නම ගිය විශාල පිරිසක් කොඩිගහයට සඳහා රංගන දායකත්වය සපයා තිබෙනවා.

පාතාල ලෝකයේ ගැටුම් සහ නාගරික වතු ජීවිතය මේ කතාවේ තේමාව කියලයි දැනගන්නට ලැබෙන්නෙ. අරුණ ප්‍රේමරත්න ගේ පිටපතකට අනුව රූගත කළ කොඩිගහයට සමඟ ප්‍රවීණ නිළි දිල්හානි අශෝකමාලා කලකට පසුව ටෙලි නාට්‍යයක් සමඟ එක්ව තිබෙනවා. ටෙලි නාට්‍ය රංගනයෙන් බොහෝ අඩුවෙන් දකින්නට ලැබෙන දිල්හානි පසුගිය කාලයේ චිත්‍රපට තුළින්ද දකින්නට ලැබුණේනැහැ. දිල්හානිට ආදරය කරන සුවහසක් රසිකයන්ට කොඩිගහයට හරහා කලකට පසුව ඇයව දකින්නට ලැබෙන බවත් කිව යුතුමයි.

කොඩිගහයට නිශ්පාදනය කරමින් නවක නිශ්පාදකවරයකු ක්ශේත්‍රය සමඟ එක්වන බවත් අපට දැනගන්නට ලැබෙනවා. නමින් අනිල් බණ්ඩාර නම්වන ඔහු ව්‍යාපාරිකයෙක්.
මෙම දැවැන්ත ටෙලි නිර්මාණය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂකයාට දැක බලාගැනීමට හැකිවේවි.

කොඩිගහයට මම උපන්නේ ගීතයේ නව සංගීත අත්දැකීමක් ද මේ හරහා ලබා දීමට මෙම ටෙලිනාට්‍ය කටයුතු කර තිබෙනවා.එම ගීතය නව සංගීතයට ගයන්නේ ඉන්ද්‍රචාප ලියනගේ.

එහෙමනම් ජගත් ට සුබ පතමින් අපි කොඩිගහයට ඡායාරූප පෙළක් සමඟ එකතුවෙමු.