ජය ශ්‍රී දෙදරයි?

ජයශ්‍රී කියලා කියන්නෙ ඉතා ජනප්‍රිය ගීත රැසක් ගැයූ සංගීත කණ්ඩායමක්. සුදු ඇඳුමෙන් සැරි මුව හසරැල්ලෙ, ආදර ලොවේ, හනුමන්තා, සුන්දරියේ, පියමැන්නේ ආදී ගීත ඒ අතරේ තියෙනවා. එහෙත් පසුගියදා මේ කණ්ඩායමේ දෙදරීමක් සිදුවුණා. ඒ සමඟ නිර්මාණ අයිතිය පතා අධිකරණට යන කතාවකුත් පැතිරුණා. කොහොම වුණත් මේ සම්බන්ධව එහි සාමාජික රෝහිත ජයලත් සරසවියට මෙලෙස දන්වා එවා තිබුණා.

අපගේ ජයශ්‍රී කණ්ඩායමේ වසර 4 පමණ කාලයක් (1999-2003..) සාමාජිකයෙකුව සිට, මීට වසර 18කට පමණ පෙර තම කැමැත්තෙන් නීත්‍යානුකුලව අපෙන් වෙන්වීගිය එක්තරා පුද්ගලයෙකු, හදිසියේ අවදිවී ඔහු ජයශ්‍රී කණ්ඩායමේ නිර්මාතෘ බව සහ වෙනත් විවිධාකාර අසත්‍ය, අපහාස ප්‍රකාශයන් පතුරවමින් සිටියි. මෙය හුදෙක්ම ප්‍රසිද්ධිය ලබාගැනීමටත් අපහට මඩ ගැසීමටත් පමණක්ම දරන්නාවූ බොළඳ මන්ද මානසික උත්සාහයක් බව පැහැදිලිව පෙනීමට තිබේ.

මොහු අසත්‍ය කරුණු ඇතුළත් එන්තරවාසියක් අපිට එවා ඇත. මෙවැනි දේ කරන්නේ අප කණ්ඩායමෙන් යම්කිසි මුදලක් ලබා ගැනීමට හැකිවෙතැයි ඔහු විශ්වාස කරන නිසාය.

එම එන්තරවාසිය මගින් සඳහන් කර ඇති සියලුම නිර්මාණ (Audio + Video), ජයශ්‍රී වෙළෙඳ නාමය යටතේ කණ්ඩායමක් ලෙස නිෂ්පාදිත බැවින් මෙම සියලු නිර්මාණ ජයශ්‍රී සතු වෙයි. මොහුට මෙහි සඳහන් සියලු නිර්මාණවල තනුව සඳහා පමණක් ලැබියයුතු නීත්‍යානුකුල කර්තෘභාගය එවකට දායකවූ තිදෙනා අතර බෙදෙන බැවින්, ගීතයක මොහුගේ අයිතිය 16.6 % ක් පමණි. ගීත රචනයන් මොහුගේ නොවන බැවින්, ඒ සඳහා මොහුට කොටස් අයිතියක් නොතිබේ.

එකල මෙම පුද්ගලයාව හඳුන්වාදී, AKM  ආයතනයේ සාමාජිකයකු කිරීමට අපි උදවු කර, නිර්මාණ දායකත්වය සඳහා ලැබිය යුතු සියලුම කතෘභාග සහ වරප්‍රසාදයන් 2000 වසරේ නීත්‍යානුකුලව ලියාපදිංචිකල ආකාරයටම එදාපටන් අදටත් නොඅඩුව ඔහුට ලැබෙනු ඇත. මෙම අයිතීන් සඳහා ඔස්ට්‍රියානු ජනරජයේ බුද්ධිමය දේපළ පිළිබඳ ජාතික ආයතනය, AKM  ආයතනයෙන් ලැබෙන්නාවූ මුදල් ප්‍රතිලාභ මොහුගේ ගිණුමට හැර වෙනත් කිසියම් කෙනෙකුට කිසිවිටකත් ලබාගත නොහැක. එම වරප්‍රසාදයන් ලබා ගැනීම ඔහු විසින් පමණක්ම කළහැක්කකි. ඒ සඳහා අපගේ දායකත්වය අදාළ නොවේ.

මේ බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි සහ සාධක, ඔස්ට්‍රියානු ජනරජයේ බුද්ධිමය දේපල පිළිබඳ ජාතික ආයතනයේ AKM  වෙබ් අඩවිය පරිශීලනය කිරීම මගින් සවිස්තරාත්මකව දැනගත හැකිය. සියලුදෙනාගේ දැනගැනීම පිණිස මෙම සාධක නීත්‍යානුකුල ලියාපදිංචි කර ඇති සැටි මෙහිද ඇතුළත් කරමු. මෙම පුද්ගලයා කෙසේවත් මෙහි නම්කර තිබෙන්නාවූ නිර්මාණවල, එකම රචකයා, තනු නිර්මාණකරුවා, එකම ගායකයා හෝ කතුවරයා නොවන බවත්, මොහු හා මොහුට ප්‍රචාරය ලබාදීමට උත්සාහදරන්නාවූ බංකොළොත් ආයතන මගින් මෙහි සඳහන් කර ඇති නිර්මාණ පිලිබඳ කෙරුණු ලැබු සියලුම ප්‍රකාශ කිසිඳු සත්‍යතාවයකින් තොර වෙයි.

ජයශ්‍රී සංගීත කණ්ඩායම නීත්‍යානුකුලව ඕස්ට්‍රියානු ජනරජය තුල ලියාපදිංචි කර ඇති බැවින්ද, මෙතෙක් කල් මෙම පුද්ගලයා ඇතුළුව එහි සමාජිකත්වය දැරූ සියලු පුද්ගලයන් ඕස්ට්‍රියාවේ ස්ථිර පදිංචිකරුවන් වන බැවින්ද, සියලුම ජයශ්‍රී නිර්මාණ ඕස්ට්‍රියාව තුල පමණක් (ජාත්‍යන්තරව) නීත්‍යානුකුලව ලියාපදිංචි කර ඇති බැවින්ද, ශ්‍රී ලංකාව තුළ මෙම කාරණාව පිලිබඳ නීතිමය ප්‍රතිපාදන නොමැති බව මොහුටත් මොහුගේ නීතිඥ සේවය යැයි කියාගන්නා විදේශ වීසා සේවා සපයන ආයතනයටත්, ඕස්ට්‍රියාවේ අපගේ බුද්ධිමය දේපල පිලිබඳ විශේෂඥ නීතිඥවරයා විසින් සවිස්තරාත්මකව දැනුම්දී ඇත.

මෙම පුද්ගලයා සහභාගි වුණු ජයශ්‍රී නිර්මාණවල මොහුගේ කතෘභාග සහ වරප්‍රසාදයන් පිළිබඳව ඔහුට අපැහැදිලි භාවයක් ඇත්තේ නම්, ඕස්ට්‍රියානු බුද්ධිමය දේපල පිළිබඳ AKM  ආයතනයෙන් එය නිරවුල් කරගත හැකිය. නැතහොත් මොහුට නොතේරෙන්නාවූ මෙම ඉතා පහැදිලි කාරණාව, ඕස්ට්‍රියාව තුළ පමණක් නඩු මඟට පිවිසීමෙන් නිරවුල් කරගත හැකි බව අපගේ බුද්ධිමය දේපල පිළිබඳ විශේෂඥ නීතිඥය විසින් මොහුට දැනුම්දී ඇත.

ජයශ්‍රී නාමය සහ මුද්‍රාව පේටන්ට් බලපත්‍ (313854 – Austrian Patentamt) යටතේ ශ්‍රී ලංකාව ඇතුළුව ජාත්‍යන්තරව ලියාපදිංචි කර ඇති, අයිතිය අප සතු සංගීත කණ්ඩායමකි. අප කණ්ඩායමේ නාමය නිර්මාණය හා ආරම්භය මෙසේ වෙයි:

අපි 1992-93 කාලයේදී අප මිත්‍ර ඕස්ට්‍රියානු නිෂ්පාදිතවරුන් සමග CON-DOM  ලෙසින් සංගීත නිර්මාණ කරමින් යුරෝපයේ සහ ජාත්‍යන්තරයේ ගීත දර්ශක තුළට ඇතුළුවූ මුල්ම ශ්‍රී ලාංකිකයන් ලෙස Sony Music  ආයතනය සමග වසර 10ක ගිවිසුමකට පිවිසියෙමු. පසුව 1994 දී BMG Ariola  ආයතනය සමග ගිවිසුමකට අත්සන් තැබීමට පිවිසීමේදී Con-Dom යන නාමය රැගෙන යාමට අවසර නොමැතිවූ බැවින් නව නාමයක් යෙදුමට කටයුතු කළෙමු. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ අපේම සිංහල නමකින් ජාත්‍යන්තරයට යාමට ඇලුම්කළ අපි ජයශ්‍රී ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළෙමු. නමුත් BMG Ariola  ආයතනයේ ඉල්ලීම පරිදි මමත් මගේ සහෝදරයාත් එවකට අප සමග සිටි ඕස්ට්‍රියානු ජාතික ගායිකාව Magda  සමග සාමාජිකයන් තිදෙනෙකු පමණක්වූ බැවින් “ජය3 – JAYA3” ලෙස නම් කිරීමට සිදුවිය. ඉන් වසර 5කට පමණ පසුව 1999 දී, අපි එකල නමක්වත් අසා නැති මෙම පුද්ගලයා, sony music පවා අමතා, අප ගැන සොයාගත් තොරතුරු මත අපව සොයාවිත්, අහඹු ලෙස හමුවී, ඔහුට එකල කල සංගීත ආරය එපාවී ඇති බවත් (Cover Band) අප සමග වැඩකිරීමට කැමැත්ත පළකළ විට ඉතාමත් සතුටින් හා සහයෝගයෙන් එකතුව, සහෝදරයන් සේ ගීත ප්‍රමාණයක් නිර්මාණය කොට ජයශ්‍රී ලෙස පළමු ඇල්බමය නිකුත් කළෙමු.

එවකට ඕස්ට්‍රියාවට නවක පුද්ගලයෙකු වූ මොහුට ශබ්දාගාරයක් තිබුණායයි පැවසීම විශාල විහිළුවකි. එකල මොහුගේ කාමරයේ මුළුතැන්ගෙයි කොටසේ පැත්තක මේසය මත පරිගණකයෙන් අපි තිදෙනා එක පුටුවේ වාඩිවී එකතුව තනු නිර්මාණය කළ හොඳ අතීතය මොහුට අමතකවී ඇත. පසුව මාටින් කෝඩර්, ඇල්බර්ට් කොලර් යන අපේ මිත්‍ර ඕස්ට්‍රියානු ශබ්ද පරිපාලකයන් සමග අපේ කටහඬ සහ භාණ්ඩ වාදනය පටිගතකර, මික්ස්, මාස්ටර් කර, එකලට හොඳම තලයේ නිර්මාණ කලහැටි ඔහුට අමතක වී ඇත. මෙම තනු එකලට පෙර ඔහු විසින් තනිවම නිර්මාණය කළ බව පැවසීමද අමූලික අසත්‍යකි. මොඩ් ගොවියා , සුන්දරී ඇල්බම දෙකම ලංකාවේ CD තැටි සහ කැසට් බෙදාහරින සමාගම්වලටදී එයින් ලැබුණු ප්‍රතිලාභ තිදෙනා අතර නිත්‍යානුකුලව සමසේ බෙදාගනු ලැබීය.

සියල්ල අමතකකොට තනිවම යෑමට ගත් උත්සාහය අසාර්ථකවී,මීට වසරකට පමණ පෙර, වසර 18කට පසු නැවත එකතුවී Reunion ප්‍රසංග කිරීමට මොහුගේ සොහොයුරා ලවා කළ ඉල්ලීම අපහට ඉවත දැමීමට සිදුවීම නිසා, අප කීර්ති නාමයට හානි කර කීයක් හරි කඩා ගැනීමට මේ දරන්නාවූ උත්සාහය ඉතා පිළිකුල් සහගතය. මේ පිළිබඳව අපගේ නීතිඥයා විසින් ඔහුට ඉදිරියේදී නීතිමය වශයෙන් පියවර ගන්නා බවට මේ වන විටත් අවවාදශීලීව දැනුම්දී ඇත.

එදා පටන් අද වෙනතුරු සරලව පොලවේ පයගසා, අවුරුදු 30කට ආසන්න අපේ මිතුරු සාමාජිකයින් සමග ජයශ්‍රී අපේ ගමන ඉතාමත් සාර්ථකව ලොව වටා අපි යන්නෙමු. අපේ රටටත් කීපවරක් ආවෙමු. කිසිදිනක මොහුගේ මෙම නින්දාසහගත ක්‍රියාවන් පිළිබඳ අප මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් පුද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ නොකර සිටීමට උත්සාහ කළෙමු. නමුත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මෙම සටහන තැබීමට තීරණය කළෙමු. තවද මොහුගේ තර්ක ප්‍රකාශයන්ට අනුව වසර 18 කාලයක් පුරා තනිවම ගත් අසාර්ථක උත්සාහයෙන් කෙරුණු ඔහුගේ ජනප්‍රිය නිර්මාණ කීයක් ඇද්දැයි දැනගැනීමටද කැමැත්තෙමු. තවද මුදල් වංචා සම්බන්ධ විස්තරයක් ඔහු අසත්‍ය ලෙස විදහා දක්වා ඇතත්, අපි කිසිදිනෙක අතීතයේ සිට අද දක්වා ලංකාවේ හෝ ලොවේ කිසි කෙනෙකුට වංචා සහගත දෙයක් කර ඇත්නම් ප්‍රසිද්ධියේ පවසන මෙන් අපට අභියෝගයක් කළහැකිය. නමුත් ඔහුට ලංකාවේ හෝ යුරෝපයේ එසේ කල හැකිද? යන්නද අසමු. මොහු අප සමග සිටි වසර හතරක කාලයට පෙරත්, පසුවත් අප ඉතා ජනප්‍රිය නිර්මාණ, සංදර්ශන සහ චාරිකා ඉදිරිපත් කර ඇත. ඒවා ජාත්‍යන්තර වශයෙන් ජාති භේදයකින් තොරව ජනාදරයට පාත්‍රවී ඇත.

මේ පිළිබඳව තවදුරටත් මෙම පුද්ගලයාගේ මට්ටමින් සංවාද විවාද කිරීමට අකමැති බවද, අවශ්‍ය නම් නීතිමය පියවර පමණක් ගන්නා බවද කීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් පවසියහැක්කේ ඇතැම් අඳබාල මිනිසුන්ගේ මෙවැනි නින්දිත ක්‍රියා අප මෙයට පෙරත් නොයෙක්වර අත්දැක ඇති බවය. ජයශ්‍රී අපට සංගීතය යනු… අන් අය සමග ආදරය, සාමය , සතුට , එකමුතුකම, පරිසරය සුරැකුම ඇතුළු ධනාත්මක සිතුවිලි බෙදාගන්නා අගනා මාධ්‍යයක් විනා, අනෙකෙකුට ඊර්ෂියාවෙන් මඩ ගසාගෙන මුදල් සොයන ආයුධයක් නොවේ! මේ කිසිදු දෙයක් අපි ගෙනියන්නේ නැත …. නමුත් ජයශ්‍රී නමින් හොඳ මතකයක් පමණක් සැමදාටම පවතිනු ඇත.

රෝහිතගේ කතාවේ සටහන
ප්‍රසාද් සමරතුංග

උපුටාගැනීම – සරසවිය පුවත්පත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *