මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ජැකලීන්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය, ඊට අදාලව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

තමන් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් ප්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා යැයි ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් පවසා ඇත.

එම නිලධාරීන් පැය 5 කට ආසන්න කාලයක් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර, ඊට සුකේෂ් චන්ද්‍රශේකර් විසින් ක්‍රියාත්මක කරන ලදැයි පැවැසෙන කෝටි ගණනක කප්පම් ජාවාරමක් ද අයත්ය.

සුකේෂ් චන්ද්‍රශේකර් සහ ජැකලීන් ෆර්නැන්ඩස් අතර සමීප හිතවත්කමක් පැවැති අතර නිලධාරීන් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කළේ ඒ අනුවය.

සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් කිරීම්වල දී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කර තිබේ.

චන්ද්‍රසේකර්ට එරෙහි ව සිදුවන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයන්ට අදාළ ව චෙන්නායිහි මුහුදට මුහුණ ලා තිබූ සුඛෝපභෝගී බංගලාවක්, ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සුකේෂ් චන්ද්‍රසේකර්, ‘සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ’ ලාංඡනය සම්බන්ධයෙන් ඇති වූ අර්බූදයක් සමනය කිරීමට එම පක්ෂයෙන් කැඩී ගිය ටී.ටී.වී දිනකරන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක් ලබා ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ. ඔහු එම මුදල ඉන්දීය මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට අල්ලස් වශයෙන් දීමට ලබා ගත් බවට ද චෝදනා එල්ලවී ඇත.