කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ​12 ක් සැනිටයිසර් බීලා

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් 12දෙනකු ඊයේ (14) දෑත් පිරිසිදුකාරක දියර (සැනිටයිසර්) පානය කිරීමෙන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනෙක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ඉරාන ජාතිකයන් පිරිස බැලීම සඳහා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ඉකුත් බදාදා (12) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ ඇත.

එසේ පැමිණි තානාපති නිලධාරීන් ඔවුන්ට දෑත් පිරිසිදුකාරක දියර මිලි ලීටර් 100 බෝතල් ලබා දී ගොස් තිබුණු බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය. එම දෑත් පිරිසිදුකාරක දියර මොවුන් විසින් ඊයේ පෙරවරුවේ මත්වීමේ අදහසින් පානය කර තිබෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

එම දියර පානය කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ඉරාන ජාතිකයන් පිරිස දැඩි ලෙස අසනීප වී ඇති අතර එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් අයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් අනෙක් පුද්ගලයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේදීත් මරණයට පත්ව ඇත. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින අනෙක් දස දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඉරාන ජාතිකයන් අතරින් නවදෙනකු ඉකුත් මාර්තු මාසයේදී දකුණු ප‍්‍රදේශයට ඉදිරියෙන් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් තිදෙනා ඊට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අය වේ. එහිදී නාවික යාත‍්‍රාවක් සමග මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රෑම් 107 ක් ද ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්‍ෂණ අරඹා ඇත