
ලෝකයම අනවරත සටනකය. ඒ කොවිඩ්-19 නම් පොදු සතුරා පැරදවීමටය. වයිරසය ද සිය සටන අත්හරින බවක් පෙනෙන්න නැත. එය වරින් වර මුහුණුවර වෙනස් කරමින් සහ ශක්තිමත් වෙමින් මානව වර්ගයාගේ ජීවන ගමනට ප්‍රබල බාධකයක් වෙමින් පවතී. නව විකෘතිතා තුනක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ලොව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ මෙවැනි පසුබිමකය. මෙය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි.
- ආරක්ෂාව ලැබෙන්න නම් මාත්‍රා 2ම අනිවාර්යයි
- එන්නතේ වර්ගය වැදගත් නෑ
- රෝග ලකුණු පෙනුණොත් නිවෙසේම වෙන්ව ඉන්න
- බහුතරයකගේ රෝග ලකුණු දිස් වන්නේ නැහැ
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර යෑම සම්බන්ධයෙන් මේ වන විට හෙළි කර ගෙන ඇති නවතම කරුණු මොනවා ද?
අප ආයතනය මේ සම්බන්ධව කළ නවතම ජාන විශ්ලේෂණ පර්යේෂණයේ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට සහ සෞඛ්‍ය ලේකම්තුමාට භාර දී තිබෙනවා. මෙවර විශේෂ පරීක්ෂණ සඳහා සාම්පල 88ක් යොදා ගත් අතර, එයින් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව වූ ජාන විශ්ලේෂණ වාර්තා. විශේෂයෙන්ම ජාන විශ්ලේෂණ වාර්තා සැකසීමේදී අප මෙවර කොළඹ නගරයට වැඩිපුර අවධානය යොමු කළා. මේ වන විට කොළඹ, මහරගම, මාලඹේ, හෝමගම, රත්මලාන, කළුතර, පයාගල, අගලවත්ත, ගෝණපොළ, බණ්ඩාරගම, නුවරඑළිය, වව්නියාව, රත්නපුර, ගම්පහ, මාතලේ, මාතර, නුවර යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් වාර්තා වී තිබෙනවා. මේ ඩෙල්ටා රෝගීන්ගෙන් විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව ගත් සාම්පලවල මේ දිනවල අප වැඩිදුර විශ්ලේෂණයක් සිදු කරනවා. ඊට හේතුව මේ වන විට ශ්‍රී ලාංකේය ඩෙල්ටා ප්‍රභේදයේ විශේෂිත වූ ජාන විකෘතිතා තුනක් හඳුනා ගෙන තිබීමයි. වැඩි දුර අධ්‍යයනයක් සිදු කරන්නේ එම විකෘති සම්බන්ධයෙනුයි. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ මේ විකෘතිතා තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම දැකිය හැකියි. මෙකී විකෘතිතා තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදයක් මෙලෙස වාර්තා වන්නේ ලොව ප්‍රථම වතාවටයි. එබැවින් මෙය විශේෂ තත්ත්වයක්. මෙමඟින් රෝගයට තිබෙන බලපෑම කුමක්ද වයිරසය කොතරම් ක්‍රියාකාරී වනවා ද යන කාරණා සම්බන්ධයෙන් අප ඉතා හොඳින් අධ්‍යයනය කර ගෙන යනවා. මේ මඟින් වයිරසයට කෙබඳු වාසියක් ලැබෙනවා ද? එන්නත්කරණයෙන් ලබූ ප්‍රතිශක්තියට කෙබඳු බලපෑමක් වනවා ද? අප ස්වාභාවිකව උරුම කර ගත් ප්‍රතිශක්තියට කෙබඳු බලපෑමක් සිදු වනවා ද? යන කරුණු ගැන දැනට අපට කීමට අපහසුයි. දැනට කීමට ඇත්තේ මේ විකෘතිතා තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් ලොව ප්‍රථම වතාවට වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් බවයි.
මෙහිදී A701S යන ජාන විකෘතිය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් පමණයි. A222V නම් විකෘතිය ලොව විවිධ රටවලින් වාර්තා වන අතර, මේ වන විට තහවුරු වෙමින් පවතිනවා එම විකෘතිය පවතින විට රෝග පැතිරීම, බෝ වීමේ හැකියාව වැඩි බව. ඒ අනුව විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදයෙත් වැඩිපුර පැතිරීමක් විය හැකි බවයි දැනට මූලික අධ්‍යයනවලින් සනාථ වෙමින් පවතින්නේ. එසේම A1078S නම් විකෘතිය දැනට ලොව හමු වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයනය සිදු කෙරෙමින් පවතිනවා. කොළඹ නගරය ආශ්‍රිතව මේ විකෘති තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදය මූලිකත්වය ගෙන කටයුතු කරන අතර එහිදී අපේ අනුමානය වන්නේ අප මුලින් දුටු ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව මේ ප්‍රභේදයට යම් වාසිදායක තත්ත්වයක් ඇති බවයි.
මෙයාකාරයෙන් ශ්‍රී ලංකාවට ම ආවේණික විකෘති ප්‍රභේද සොයා ගැනීමත් සමඟ ඉදිරියේදී රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් ඇති විය හැකි ද?
පැහැදිලිව කිව යුතුයි: මේ සොයා ගෙන තිබෙන්නේ විකෘති ප්‍රභේද නොවෙයි. මේවා ඩෙල්ටා ප්‍රභේදයේ ඇතිවූ ජාන විකෘතිතා. ප්‍රභේදයක් ගොඩනැඟෙන්න තරම් තවම අවශ්‍ය කරන දේවල් මේ තුළ ගොඩනැඟී නැහැ. එනිසා නව ප්‍රභේද ලෙස හඳුනාගැනීමේ හැකියාවක් ද නැහැ. දැනට අප දකින මේ නව විකෘතිතා තුනම එක් වයිරසයක තිබෙන ඩෙල්ටා ප්‍රභේදය ලෝකයෙන්ම ප්‍රථම වතාවට හමු වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන්. මේ වන විට මේ විකෘතිතා තුනම සහිත රෝගීන් ප්‍රමුඛත්වය ගෙන හමු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉදිරියේදී මෙය නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමේ හැකියාවක් සහ අවස්ථාවක් තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් අපට දැනට තහවුරු කිරීමක් කිරීමට හැකියාවක් නැහැ.
ඩෙල්ටා ප්‍රභේදයේ මෙයාකාරයෙන් වෙනස් වීම් සිදු වීමට බලපාන හේතුව කුමක් ද?
සාමාන්‍යයෙන් SARS-CoV-2 වයිරසය බෙදි බෙදී යන විටයි මේ විකෘතිතා ඇති වන්නේ. පොදු මතය වන්නේ මසකට විකෘතිතා දෙකක් පමණ ඇති වන බවයි. විකෘතිතා ඇති වීමට නම් රෝගය ව්‍යාප්ත විය යුතුයි. පසුගිය කාලය තුළ විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව විශාල වශයෙන් රෝගය ව්‍යාප්ත වුණා. එසේ පැතිරෙන විටයි මේ ජාන විකෘතිතා ඇති වන්නේ. එංගලන්තයේ රෝගය ඉතා වේගයෙන් පැතිරෙන විට ඇල්ෆා ප්‍රභේදය ගොඩනැඟුණා. ඉන්දියාවේ මේ රෝගය ඉතා විශාල වශයෙන් පැතිරෙන විට ඩෙල්ටා ප්‍රභේදය ගොඩනැඟුණා. ඒ හා සමාන තත්ත්වයක් තමයි මේ වන විට ලංකාවේ තිබෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදය තුළින් නව විකෘතිතා ඇති වීම ඉදිරියේ දී ප්‍රභේදයක් දක්වා වර්ධනය වීමේ හැකියාව සහ අවදානම තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප ආයතනය මේ දිනවල වැඩි දුර අධ්‍යයනය කරමින් සිටිනවා.
එන්නත්කරණය සම්පූර්ණ කළ සියලු දෙනාට ඉතා හොඳින් මේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව ඇති වන සංකුලතා වළක්වා ගත හැකි බව පැහැදිලියි. ලබා ගත්තේ කුමන එන්නත ද කියන කාරණය වැදගත් නෑ. ඕනෑම එන්නතක් මාත්‍රා දෙකම විද ගෙන සති දෙකක් ඉකුත් වන තැන සිට රෝගය වැලඳී මිය යෑමෙන් වැළකීමට අවශ්‍ය කරන ඉතා හොඳ රැකවරණයක් දෙනවා. ඒ සම්බන්ධයෙන් අප විශ්වාසය තබාගෙනයි සිටින්නේ.
එන්නත්කරණය සම්පූර්ණ කළ අයගෙන් රෝගය බෝ වන්නේ නැද්ද?
මේ එන්නත මඟින් ප්‍රධාන වශයෙන් දෙන රැකවරණය වන්නේ රෝගය වැලඳී මිය යෑම වැළැක්වීමයි. එන්නත්කරණය සම්පූර්ණ කළ අයගෙන් රෝගය බෝ වීම සම්පූර්ණයෙන් වැළැක්වීමේ හැකියාවක් මේ කොවිඩ්-19 එන්නතට නෑ. ඒ නිසා එන්නත් මාත්‍රා දෙකම ගත්තත් ඔබ රෝග වාහකයකු වන්න පුළුවන්. විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් අප දකින කාරණාවක් වන්නේ එන්නත්කරණය සම්පූර්ණ කළ අයටත් මේ රෝගය වැලඳෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව තිබෙන අනෙක් ගැටලුව වන්නේ අපේ ශ්වසන බිඳිතිවල ඉතා විශාල ලෙස වයිරස් රැඳෙනවා. එන්නතකරණය සම්පූර්ණ කර තිබෙන නිසා ඔබ මිය යන එක නැවතුණාට ඔබෙන් පහසුවෙන් රෝගය සම්ප්‍රේෂණය විය හැකියි. කෙසේ වෙතත් දින කිහිපයකට පෙර ලැබුණු තවම තහවුරු නොවුණු පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා ඔබ එන්නත් මාත්‍රා දෙකම ගෙන තිබෙනවා නම් ඔබෙන් අනෙක් අයට රෝගය බෝ වීමේ හැකියාව සැලකිය යුතු මට්ටමකින් – එනම්: ප්‍රතිශතාත්මකව දක්වන්නේ නම් 65%කින් පමණ – අඩු වන බව. කුමන ප්‍රභේදය ආවත් එන්නත්කරණය ඉතා හොඳ පිළිතුරක් විදිහටයි අප දකින්නේ. එසේම එන්නත්කරණය පමණක් නොවෙයි; ඒ හා බැඳුණු අනෙකුත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත්.
රටේ සමස්ත පුද්ගලයන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ විට මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දැකගත හැකි වේවි ද?
එවිට අනිවාර්යෙන් ම මරණ සංඛ්‍යාව අඩු වනවා. එන්නත්කරණයේ සාර්ථක ප්‍රතිඵල සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට අත්දකින්න හැකි වෙයි. එන්නත් මාත්‍රා දෙකම ගත හොත් සති දෙකක් යන විට මිය යෑම වැළකීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩනැඟෙනවා. අප බලාපොරොත්තු වනවා නව ප්‍රභේද ඇති වන්නේ නැතිව පැවතිය හොත් දැනට ඩෙල්ටා ප්‍රභේදය මේ දෙන එන්නත්වලට හොඳින් පාලනය වන බැවින් එන්නත්කරණ වැඩසටහන් යටතේ මේ රෝගය සැලකිය යුතු මට්ටමකට පාලනය වී තිබෙයි කියා. එන්නත්කරණයෙන් සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාවේ අඩුවක් සිදු වනවා. මේ වන විටත් මිය යන අයගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් කිසිදු එන්නතක් නොගත් අය.
එන්නත්කරණය මේ වන විට ශීඝ්‍රයෙන් සිදු කෙරෙනවා. එන්නත්කරණ ක්‍රියාවලියත් සමග යම් මට්ටමක පාලනය වීමක් සිදු වන බව පැවසුවත් මරණ සංඛ්‍යාවේ දකින්නට තිබෙන්නේ වැඩි වීමක්. එයට හේතුව කුමක් ද?
එන්නත්කරණය සාර්ථකව කර ගෙන ගියත් තවමත් බහුතරයක් සිටින්නේ එක් මාත්‍රාවක් පමණක් ගත් අය. මාත්‍රා දෙකම ගත්තත් අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනඟීමට සති දෙකක් ගත වනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත වන්නේ සයිනොෆාම් එන්නතයි. මේ එන්නතේ එක් මාත්‍රාවකින් නම් කොහෙත්ම ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. මාත්‍රා දෙකම ගෙනත් සති දෙකක් ගත විය යුතුයි. එබැවින් දැනට අප අපේක්ෂා කරන ආරක්ෂිත කාණ්ඩයට අදාළ ප්‍රමාණය බොහොම අඩුයි. අනාරක්ෂිත අය තමයි තවමත් මෙරටින් බහුලව හමු වන්නේ. තවමත් මිය යන අයගෙන් බහුතරයක් – එනම්: 90%කට වැඩි ප්‍රමාණයක් – එන්නත්කරණය සම්පූර්ණ නොකළ අය. එන්නත් මාත්‍රා දෙකම ගෙන සති දෙකක් ගිය විට මේ රෝගයෙන් මිය යෑමේ සම්භාවිතාව ඉතා පැහැදිලි ලෙස අවම වීමක් සිදු වන බැවින් එන්තත්කරණය ඉතා හොඳ අවියක් ලෙසයි අප දකින්නේ.
කොවිඩ්-19 වැලඳුණ හොත් කළ යුත්තේ කුමක් ද? රෝහල්ගත විය යුතුම ද?
රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉතා වැදගත් වන්නේ නිවෙසට වී සිටීමයි. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර වේදනාව, හිස කැක්කුම, ඇඟපත වේදනාව, උණ යන රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් තිබෙනවා නම් විශේෂයෙන්ම මේ දිනවල අප සැක කළ යුතුයි වැලඳී ඇත්තේ කොවිඩ් රෝගය බවට. එවිට වහාම ඔබ අන් අයගෙන් දුරස් විය යුතුයි. නිවෙසේ නම් වෙනම කාමරයකට වී රෝග ලක්ෂණ පහව යන තුරු හැකි තරම් පරිස්සම් වීම වැදගත්. මේ වයිරස් රෝග බොහෝ විට දින කිහිපයක් හෝ සතියක් ඇතුළත ඉබේ සුව වනවා. මේ කාලය තුළ ඉවසීම නැති වුණාමත් බොහෝ දෙනා විවිධ ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණපානවා. කොවිඩ්-19 රෝගයේදී බහුතරයකට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. සීමිත පිරිසකට තමයි රෝග ලක්ෂණ තිබෙන්නේ. ඒවා ද බොහොම තාවකාලික සියුම් රෝග ලක්ෂණ. මෙමඟින් ඉතා සුළු ප්‍රතිශතයක් තමයි දරුණු රෝග තත්ත්වයන්ට පත් වන්නෙ. එබැවින් පවතින තත්ත්වය තුළ ඔබ කොවිඩ්-19 ආසාදිතයකු බව පරීක්ෂණයකින් තහවුරු වූ පමණින්ම රෝහලකට යෑම සුදුසු කාරණයක් නොවේ. ඊට හේතුව මේ වන විට අපේ රෝහල් පද්ධතියේ ධාරිතාවේ යම් ගැටලුවක් පැවතීමයි. නිවෙසේ සිටින්න. අනෙක් අයගෙන් දූරස්ථව සිටින්න. දියර වර්ග වැඩිපුර පානය කරන්න. හොඳින් වාත්‍රාශය ලැබෙන ලෙස සිටින්න. තමාගෙන් අනෙක් අයට රෝගය පැතිරීම වැළැක්වීමයි මූලිකවම කළ යුත්තේ. ඒ අතර අවශ්‍ය විට වෛද්‍ය උපදෙස් ගන්න. යම් හෙයකින් රෝග ලක්ෂණවල වෙනසක් සිදු වනවා නම් විශේෂයෙන්ම තදබල කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව, ඇඟට පණ නැති ගතිය වැනි රෝග ලක්ෂණ පවතී නම් එවිට වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. රෝහල්ගත වීමට සිතිය යුත්තේ එවැනි අවස්ථාවකයි. මක් නිසාද යත්: අපේ රෝහල් පද්ධතියේ ධාරිතාව සීමිත බැවින් හැම විටම අසාධ්‍ය රෝගීන්ට ප්‍රමුඛත්වය ලැබෙන ලෙස කටයුතු කිරීම වැදගත්.
කාංචනා සිරිවර්ධන
උපුටාගැනීම – දිනමිණ ජාතික පුවත්පත