
දිනෙන් දින අලුත් වෙන ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ ස්මාට් ජංගම දුරකථන, එහෙමත් නැත්තම් ස්මාට් ෆෝන් වලට හිමිවෙන්නේ සුවිශේෂි තැනක්. ඒ නිසාම අද වෙන කොට ස්මාට් ෆෝන් කියන්නේ නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා හමාරයි.
මේ අතරින් ඇපල් සමාගමේ අයි ෆෝන් වලට අනෙක් ස්මාට් ෆෝන් වලට වඩා අපි හැමෝම වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසාම අයි ෆෝන්, වෙළෙඳ පොලේ සාමාන්‍ය ස්මාට් ෆෝන් වලට වඩා අධික මිලකටයි අලෙවි වෙන්නේ.
අධික මිලකට තාක්ෂණ ලෝකයම හොල්ලමින් අලෙවි වෙන අයි ෆෝන් වලින් වසරකට ලැබෙන ලාභය අපිට හිතා ගන්නවත් බැරි තරමි විශාල මුදලක්. ඒත් අපි මහා උජාරුවෙන් කතා කරණ අයි ෆෝන් පිටි පස්සේ තියෙන්නේ කවුරුවත් නොහිතන මහා අඳුරු කතාවක්.
තාක්ෂණ ලෝකයේ මහා පෙරලිය….
ඇත්තටම තාක්ෂණ ලෝකයේ මහා පෙරලියක් කරපු ඇපල් සමාගම ඇමරිකාවේ පිහිටා තිබුනත් මේ සමාගමේ බහුතරයක් නිෂ්පාදන නිපදවන්නේ චීනයෙයි. අද වෙනකොට චීනයේ නිපදවන මේ නිෂ්පාදන වලින් වැඩි හරියක්ම අයි ෆෝන්.
මහා තාක්ෂණයක් ගැන කතා කළත් අදටත් අයි ෆෝන් වල වැඩි කොටසක් නිපදවෙන්නේ මිනිස් ශ්‍රමයෙනුයි. ඒ නිසා දවසකට සපුරා ගතයුතු නිෂ්පාදන ඉලක්ක සපුරා ගන්න මේ ශ්‍රමිකයින්ට ගෙවන්න වෙලා තියෙන්නේ අමුතුම ජීවිතයක්.
කොටින්ම කියනවා නම් උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො පාසලේ උදෑසන රැස්වීම වගේ රැස්වීමකට සහභාගී වියයුතුයි. එහිදී එදා දවසේ අත් කරගත යුතු ඉලක්ක ගැන විශේෂ පැහැදිලි කිරීමක් කෙරෙනවා. ඊට අමතරව සියලුම සේවකයින් නිෂ්පාදන වල උසස් තත්ත්වය ආරක්ෂා කරමින් ඉතාම කැපවීමෙන් කටයුතු කරන බවට පෙරොන්දු වෙනවා. ඒවගේම සියලු දෙනාම එකමුතුම කටයුතු කරන්නත් මහා ශබ්දයෙන් පොරොන්දු වෙනවා.
මේ රැස්වීම විනාඩි විස්සක් පැවැත්වෙනවා. සාමාන්‍ය ආයතනයක නම් ආයතනයේ ප්‍රධානීන් රැස්වීම් පවත්වන කාලය වැටුප් ගණනය කිරීමක් සිද්ධ වුනත් මේ අයට එවන් ගෙවීමකට හිමිකමක් ලැබෙන්නේ නැහැ. මේ රැස්වීමෙන් පස්සේ හරියටම 8.30ට වැඩ මුරය ආරම්භ වෙනවා. හැබැයි මේ වැඩ මුරය අපිට හුරු පුරුදු වැඩ මුරයකට වඩා වෙනස්.
අපේ රටේ වගේම බහුතරයක් රට වල ක්‍රියාත්මක වෙන්නේ පැය අටක වැඩ මුරයක්. ඒත් අයි ෆෝන් නිපදවන කර්මාන්තශාලා වල වැඩ මුරය පැය දොළහක්. ඒ කාලය තුල කෑම කන්නත්, තේ බොන්නත් හිමිවෙන්නේ විනාඩි අනූවක් විතරයි. ඒත් මේ කාලය තුල කිසිම සේවකයකුට කර්මාන්ත ශාලවෙන් පිටතට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ විනාඩි අනූව තුල සේවකයින්ට රැදී සිටින්න අවස්ථාව හිමිවෙන්නේ කෑම කන්න වෙන් කරලා තියෙන විශේෂ ශාලාවේ විතරයි. මේ කාලය අවසන් වූ වහාම සියලුම සේවකයින්ම තමන් රාජකාරි කරන තැනට යලිත් වාර්තා කළයුතු වෙනවා. ඊට පස්සේ මේ අයට කාත් එක්කවත් කාතා කරන්නවත් වැඩ කරන තැනින් වෙනත් තැනකට යන්නවත් අවස්ථාව හිමිවෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ අයට තමන් වැඩ කරණ තැනට වතුර ටිකක්වත් ලඟ තියාගන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩ කරන වෙලාවේ දුරකථන ඇමතුමක් ගන්නවා කියන්නේ හීනයක්. ගොඩක් වෙලාවට කර්මාන්ත ශාලාවට ඇතුළු වෙන්න කලින් ආයතනයේ ආරක්ෂ අංශයට ඒවා භාර දිය යුතුයි.
සේවකයන්ගේ දවසේ කාර්ය….
ඒ වගේම මේ කර්මාන්ත ශාලාවල සේවය කරන අයට වැසිකිලියකට යන්න හෝ වතුර ටිකක් බොන්න වුවමනා වුනොත් ඒ සඳහා අදාල අංශයේ ප්‍රධානියාගෙන් විශේෂ අවසරයක් ගතයුතු වෙනවා. හැබැයි එක අවස්ථාවක වැසිකිලියට යන්න අවසරය ලැබෙන්නේ දෙන්නෙකුට විතරයි. ඊට වඩා වැඩි පිරිසකට යන්න අවශ්‍ය නම් කලින් ගිය පිරිස නැවත එනතෙක් ඉවසාගෙන සිටිය යුතුයි.

මේ මොන දේ වුනත් සෑම සේවකයෙකුම දවසකට ෆෝන් හයසීයක් එකලැස් කළයුතු වෙනවා එහෙම නැතිවුනොත් ඒ සේවකයාට විවිධාකාර වුන ගැටලු. විශේෂයෙන්ම වැටුප් කප්පාදුවකට වගේ දඩුවම් වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා කියලයි වාර්ථා වෙන්නේ.
මේ අතර කවුරු හරි කතා කරනව ඇහුණොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක් හරි අපිරිසිදු කරල තිබුණොත්, ඒ මුළු ශාලාවෙම ඉන්න සේවකයන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මේ අයට විඳින්න වෙන දඬුවම තමයි කිසිම ගෙවීමක් නැතිව පැයක් අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක. මේ අතර කිසිම සේවකයෙකුට වැඩ බිමේදී අමුත්තන් මුණගැහීම සපුරා තහනම්. ඒවගේම ඕපාදූප කතා කිරීම තමන්ට ලැබෙන පඩිය වගේ දෙවල් කතා කිරීමත් තහනම් වෙනවා.
ඒ වගේම පත්තර අත් පත්‍රිකා හුවමාරු කරගැනීමක් සිද්ධ වුනොත් ඒකට සම්බන්ධ පිරිසට අත් වන්නේ ඉතාම දරුණු ඉරණමක්. කොච්චර තාඩන පීඩන අසාධාරණ කම් සිද්ධ වුනත් මේ සේවකයන්ට වැඩ වර්ජන උද්ඝෝෂණ පැවත්වීම සපුරා තහනම් වෙනවා. 8.30 ට ඉවර වෙන වැඩ මුරයෙන් පස්‌සෙත් හැන්දෑවේ රැස්‌වීමක් පැවැත්වෙනවා. ඒ රැස්‌වීම නවය වෙනකල් පැය භාගයක් පැවැත්වෙනවා. මේ අවස්ථාවේදීත් සේවකයින්ට කිසිම අති කාල දීමනාවක් හෝ අතිරේක දීමනාවක් හිමි වන්නේ නැහැ.
මේ සියල්ලෙන් පස්සේ සේවකයින්ට කැමති නම් පැය දෙකක අතිකාලයක් සේවය කිරීමට අවස්ථාව හිමි වෙනවා. පැය දොලහක් වැඩ කරලා තවත් වැඩකරන්න තරමට පිස්සු තියෙන අය ඉන්නවාද කියලා හිතෙනවා ඇති. ඒත් මේ අයට එහෙම නොකර බැහැ.
මොකද ඒ අයට ලැබෙන වැටුප හැටියට අතිකාල නොකර හිටියොත් යාන්තමට කාලා ඇඳලාවත් ඉන්න බැරිවෙනවා. කොහොම වුනත් මේ අයගේ අතිකාල ගැන ඇපල් සමාගමට සතියකට වරක් වාර්තා කළයුතු වෙනවා. ඇපල් සමාගමේ නිර්දේශ වලට අනුව නම් අති කාල කළයුතු වෙන්නේ පැය 10 ක් විතරයි. ඒත් මේ අසරණ සේවයකියන්ට සතියකට පැය විස්සකට වැඩිය වැඩ කරන්න සිද්ධ වෙනවා.
රාජකාරි අවසන් වෙලා මේ අය යන්නේ තමන්ගේ ගෙදර නෙමෙයි. ආයතනය විසින්ම මේ පිරිසට නවාතැන් පහසු කම් ලබා දී තියෙනවා. ඒත් මේ කිසිම සේවකයෙකුට රෑ 11 කලින් එතැනට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම්. හැබැයි මේ සියල්ලටම වඩා දුක හිතෙන කාරනය වෙන්නේ එක නවාතැනක එක කාමරේ එකොළොස් දෙනෙක් විතර සිටීමයි, ඒ වගේම මේ සියලු දෙනාටම පාවිච්චි කරන්න තියෙන්නේ එක වැසිකිලියක්, එක නාන කාමරයක්
සිරගෙයක් බඳු නවාතැන ….
ඇත්තටම මේකට නවා තැනක් කිව්වාට හිර ගෙදරක ඉන්න වරද කරුවකුටත් මීට වඩා පහසුකම් හිමිවෙනවා. මීට අමතරව නවාතැනේ තවත් නීති රීති තියෙනවා. ඒ අතර සුරතල් සතුන් ඇති කිරීම. මත්පැන් පාවිච්චිය, සදළුතල වල සිටගෙන සිටීම, කාමර හෝ ඇඳවල් මාරු කරගැනීම වගේ දේවල් තහනම් වෙනවා.
චීනයේ ක්‍රියාත්මක වෙන මේ මහා පරිමාණ කර්මාන්ත ශාලාවල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්‌සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ අය අතරේ තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය මුදල් හොයා ගන්න මහලුවියේ පසුවෙන දෙමාපියන්ගේ බෙහෙත් ගන්න තමයි මේ අසරණ මිනිස්සු අපා දුක් විඳන්නේ. අපේ රටේ ක්‍රියාත්මක මාතෘ නිවාඩු සහ සේවක අයිතීක් කිසිවක් චීනයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ගැබිණි මව්වරුන්ට පවා කිසිම සැහැල්ලුවක් ලැබෙන්නේ නැහැ. ඒ අයටත් අනෙක් සේවකයින් වගේම කරට කර වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.
කොච්චර මහන්සි වෙලා සේවය කළත් මේ අයට මාසික වැටුප විදිහට ගොඩක් වෙලාවට ලැබෙන්නේ ඉතා අඩු ඩොලර් ප්‍රමාණයක්. ඒ මුදලෙනුත් නවාතැන් සඳහා ගාස්තුවක් අයකර ගන්නවා.
අනිත් කණාගටුදායක කාරනව වෙන්නේ චීනයේ දුරකථන නිෂ්පාදන සමාගම් වල සේවකයින්ගේ රැකියාව ස්ථීර රැකියාවක් නොවීමයි. ඒ නිසා අයි ෆෝන් වල ඉල්ලුම අඩු කාල වලදී ගොඩක් සේවකයන්ට රැකියාව අහිමිවෙනවා. ඒ වගේම ඉල්ලුම වැඩි කාලවලදී වෙනත් වෘත්තීන් වල යෙදිලා ඉන්න පිරිසත් මේ කර්මාන්ත ශාලා වල සේවයට යොදා ගන්නවා. කොහොම වුනත් මේ රැකියා පරිසරයේ තියෙන පීඩන දරා ගන්න බැරි වුන ගොඩක් සේවකයන් සිය දිවි නසාගන්න පෙළෙඹෙනවා.
පසුගිය කාලයේ එක අයි ෆෝන් නිෂ්පාදනයේ යෙදෙන සමාගමක සේවකයින් විශාල සංඛ්‍යාවක් කර්මාන්ත ශාලවේ ඉහල මහලයෙන් බිමට පැන සිය දිවි නසා ගන්න පෙළෙඹිලා තියෙනවා. ඒත් ආයතනයේ බලධාරීන් මේ තත්ත්වයට යොද ගත්ත පිළියම වුනේ කර්මාන්ත ශාලාවේ ජනේළ වලට යකට බම්බු යොදා කිසිවෙකුට බිමට පැනීමට නොහැකි වෙන විදිහට සකස් කිරීම විතරයි.
මේ ලිපියේම කලින් සඳහන් කළා කිසිම සේවකයෙකුට නවා තැන් පොළවල් වල සඳළු තලයට යන්න තහනම් කියන කාරණය. මේකටත් හේතු වෙලා තියෙන්නේ ඒ වගේ ස්ථාන වලින් බිමට පැනලා සියදිවි නසා ගනී කියල තියෙන සැකය නිසයි.
ඇත්තටම මේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ මසට ගන්න සත්තු ඇති කරන ආයතන වගෙයි. එවන් ඉතා දුක්ඛිත පසුබිමක ඉතාම අඩු පඩියකට අපා දුක් විඳ නිපදවෙන නවතම ඇපල් අයි ෆෝන් ඉතා අධික මුදලක් වනවා. ඒ අනුව බලනකොට මේ ජනතාව තමන්ගේ ජීවත කාලයම වැය කළත් තමන්ටම කියලා අයි ෆෝන් එකක් ගන්න එක නම් කවදාවත් සැබෑ නොවන හීනයක්. ඒ නිසා මීට පස්සේ අයි ෆෝන් ගැන කතා කරනකොට එහි නව තාක්ෂණය ගැන කතා කරනකොට එහි පිටි පස සැඟවිලා තියෙන මේ දුක්බර කතාව ගැනත් සිහිපත් කළා නම් ගොඩක් වටිනවා කියලයි අපි විශ්වාස කරන්නේ.
අතීතයේදී මේ විදියට කටයුතු සිදුවුනත් වර්තමානයේදී එය වෙනස්ව තිබෙන්නටද හැකියාවක් පවතිනවා, යම් විටක එය එසේ නොවන්නත් පුළුවන්
නුවන් සේනාරත්න
