වසරේ වැඩිම උද්ධමනය ජුලි මාසයේදී වාර්තා වෙයි

මේ වසරේ වැඩිම උද්ධමනය පසුගිය ජුලි මාසයේදී වාර්තා වී තිබෙන බව මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව පසුගිය ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8 ක් වන අතර ජුනි මාසයේ එය වාර්තා වී තිබුනේ සියයට 6.1 ක් ලෙසයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.7 ක ඉහළ යෑමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික උද්ධමනය පසුගිය ජුනි මාසයේ දී පැවති සියයට 9.8 සිට ජූලි මාසයේ දී සියයට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩවල වාර්ෂික උද්ධමනය ජුනි මාසයේ පැවති සියයට 2.9 සිට ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කලේ.

පසුගිය ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සීනි, එළවළු, කරවල සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, පොල් සහ පොල්තෙල් මිල ගණන් පහළ ගොස් ඇති බවයි මහ බැංකුව කියාසිටියේ.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් පෙට්‍රල්, ඩීසල් සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල ඉහළ යෑමක් පසුගිය ජූලි මාසයේ දී වාර්තා වූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

උපුටා ගැනීම – www.news1.lk වෙබ් අඩවිය