කොවිඩ් මර්ධනයට අමාත්‍යාංශ මට්ටමින් කමිටු

කොවිඩ් – 19 වසංගත තත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක්ම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (17) සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී zoom තාක්ෂණය ඔස්සේ සියලු කැබිනට් අමාත්‍යංශ ලේකම්වරුන් මෙහිදී දැනුවත් කෙරිණි.

ඒ අනුව සෑම අමාත්‍යාංශයකම කොවිඩ් මර්දන කමිටු පිහිටුවීමට මෙහිදී යෝජනා විය ඒ සඳහා එක් ප්‍රධාන නිලධාරියකු යටතේ ආයතනික මට්ටමින් වන කමිටුවක් පිහිටුවීමට යෝජනා විය.

එහිදී ආයතනික නිලධාරියෙකු / සේවකයෙකු යම්කිසි රෝගී තත්ත්වයකට හෝ අපහසුතාවයකට පත්වූ විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියා කළ යුතු ආකාරය මෙහිදී සාකච්ඡා විය. තම නිවසෙහි කිසිවකු හෝ සුළු අසනීප තත්වයක් හෝ පෙන්නුම් කරයි නම් රැකියාවට පැමිණීමෙන් වැළකීම, රැකියා ස්ථානයේදී දෑත් සේදීම හා ඒ සඳහා අවශ්‍ය උපකරණ යෙදවීම, කාර්යාලයේ දී ආහාර පරිභෝජන අවස්ථාව ආදී කරුණු අමාත්‍යංශ දෙපාර්තමේන්තු කාර්යාල මට්ටමින් නිසිලෙස පිළිපැදිය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. සෑම ආයතනයක් තුළ ම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඩ් -19 ව්‍යසනය පරදා ජය ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් නිලධාරීන් පිරිසක් මේ සදහා සහභාගී වූහ.