ගිනි රාජ්‍යයේ විශේෂ බලකාය පාලන බලය සියතට ගනියි

බටහිර අප්‍රිකානු ගිනී රාජ්‍යයේ විශේෂ බලකා හමුදා සෙබළුන් එරට ජනාධිපතිවරයා සිය ග්‍රහණයට ගෙන පාලන බලය සියතට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කුමන්ත්‍රණයෙන් පසු හමුදාව රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත.

තව ද කුමන්ත්‍රණයෙන් පසු හමුදාව නිවේදනය කර ඇත්තේ, ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් ඉහළ පරිපාලකයින් වෙනුවට හමුදා නලධාරීන් පත් කරන බවයි.

හමුදා සෙබළුන් ජනාධිපති ඇල්ෆා කොන්ඩේ වට කර ගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහි නිරවද්‍යතාව හෝ ජනාධිපතිවරයා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න අපහැදිලි බවයි.

හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා හෙළි නොකළ ස්ථානයකට ගෙනගිය බවත්, රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු තවත් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර මෙම සිදුවීම් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු කලාපීය හා ජාත්‍යන්තරය දැඩිව හෙළා දැක ඇති අතර එ.ජා. මහලේකම්වරයා පවසන්නේ, ජනාධිපතිවරයා වහාම නිහස් කරන ලෙසයි.

Scroll to Top