වටේ යන්න පාර කියන gps girl Karen Jacobsen

ඇය පිරිමින් උපදෙස් ගන්නා ලොව එකම ගැහැණිය කියලා හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණුන්ගෙන් උපදෙස් ගැනීම මදිකමක් කියලා හිතන පිරිමියෙක්ට වුණත් පාරට බැස්සම ඇයගෙන් උපදෙස් නැතුව බෑ.දවසෙ ඕනම වෙලාවක, යන එන මඟ තොටේ දී ඕනම කෙනෙකුට ඇය ඕන වෙනවා. කොටින්ම කියනව නම් ගමනක් යන්න වාහනයකට නඟින ඕනම ගැහැණියෙක් පිරිමියෙක් ළඟින් ඇය ඉඳගෙන ඉන්නව වගේ. ඇය ළඟින් ඉන්නව නම් කාන්තාරයක් මැද,සාගරයක් මැද වුණත් අතරමං වෙන්නෙ නෑ කියල විශ්වාසයක් තියෙනවා. මේ නිසාම වෙන්න ඇති ඇගේ රුව ඇගේ නම නොදන්න ඕනම කෙනෙක් වුණත් ඇගේ කටහඬ ජීවිතේ එක පාරක් හරි අහල තියෙනවා. ඇය Karen Jacobsen (කැරන් ජේකොබ්සන්).

“At the roundabout turn left.At the colur lights turn right. the end of the road turn left.You have reached your destination”

ලෝකයේ වැඩිම වාරයක් භාගත කර තිබෙන මේ හඬ අයිති Karen ට. ලෝකය පුරා මිලියන 400 කට වැඩි GPS ඒකක සහ ස්මාර්ට් ෆෝන් උපාංගවල ඕස්ට්‍රේලියානු ජාතික ඇගේ හඬ ඇතුළත්. iPhone, iPad, iPod touch, Macintosh, Apple Tv, Apple Watch භාවිත කරන්නන් අතර ජනප්‍රිය ‘Siri’ ලෙස තනි නොතනියට ඉන්නෙ පාළු කපන්නෙත් ඇය.

මේ විදියට අපි හැමෝගෙම හිතවතියක් වුනු Karen උපත ලැබුවේ ඕස්ට්‍රේලියාවේ. වයස අවුරුදු හතේ දි ඇය සුවිශේෂී දස්කමක් පෙන්නුම් කරමින් ගීත ගායනය වගේම ගීත රචනයත් සිදු කර තිබෙනවා. ඒ හැකියාවෙන්ම අනාගතය ලියාගන්න හිතුව Karen ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් හඬ භාවිතය සහ පියානෝ වාදනය පිළිබඳ උපාධිය ලබා ගන්නවා. Good Morning Australia කියන රූපවාහිනී වැඩසටහනෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරත් ඇයගේ එකම හීනය වෙන්නෙ ගායිකාවක් වීම. ඒ හීනය හොයාගෙන 2000 අවුරුද්දෙ දි එක්සත් ජනපදයට යන Karen ට 2002 වසරේ දී තමන්ගේ ජීවිතය වෙනස් කරන හඬ පරීක්ෂණයකට මුහුණ ද අවස්ථාව ලැබෙන්නෙ දෛවෝපගත විදියට.

ඒ තමයි ලෝකය පුරා මිලියන ගණනක මෝටර් රථවලට දිශාව පෙන්වන මෙහෙයුම් පද්ධතියක හඬ බවට පත් වීමට ඇයට ලැබුණු විරල අවස්ථාව.

“එයාලට ඕන වුණේ ඊසාන දිග ඇමරිකාවේ ජීවත්වන ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි කතා කරන ගැහැණු කටහඬක්. ඔව් එයාල හොයන්නෙ මාවමයි කියලා මට දැනුණා”

අවසානයේ Garmin,Navman,Tom Tom හා Mio යන සමාගම්වලින් නිකුත් කළ Gps ඒකක සඳහා ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි හඬ බවට පත්වෙන්න ඇයට හැකි වුණා. GPS සඳහා හඬ පද්ධතිය නිර්මාණය කිරීමේ වැඩේට ඇයට පැය 50 ක කාලයක් ගත වූ බවයි ඇය සඳහන් කර තිබුණේ.

එතැන් පටන් වසර විස්සකට වැඩි කාලයක් පුරා, Karenගේ කතා කරන කටහඬ පරිගණක මෙහෙයුම් පද්ධති,ස්මාර්ට් දුරකථන රූපවාහිනී සහ ගුවන්විදුලි වෙළඳ දැන්වීම් දහස් ගණනකින් ඇහෙන්න ලැබෙනවා.ඒ විතරක් නෙවෙයි විදුලි සෝපාන,කෲස් නැව්,සිනමා ශාලා,හෝටල්,ශ්‍රව්‍ය පොත්,මෘදුකාංග යෙදුම් සහ කාර් වොෂ් කරන එකී නොකී බොහෝ තැන්වලින් ඇයගේ අසිරිමත් හඬ ඇහෙන්න ලැබුණා.

ABC News සහ CBS News විසින් ‘The Dashboard Diva’ ලෙසත් Gold Coast Bulletin විසින් Gadjet Girl ලෙස නම් කළ ඇය People සඟරාව වඩාත් කුතුහලය දනවන පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ද නම් කරීමට තරම් ඇගේ හඬ පෞරුෂය සලකුණක් බවට පත් වුණා.

පස්සෙ කාලෙක මාර්ගෝපදේශ ග්‍රන්ථ දෙකක් රචනා කළ ඇය “Travel with Gps Girl” කියන රූපවාහිනී වැඩසටහනක් ඒවගේම “Navigating New York with The GPSGirl” කියන වෙබ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා. මේ වන විට ඇය ගායිකාවක්,ගීත රචිකාවක් අභිප්‍රේරණ කථිකයෙක්,වාදකයෙක් ලෙස ලොව පුරා සංචාරය කරන්නියක්. Norah Jones, Neil Sedaka සහ Christopher Cross සමඟ Giants Stadium හි සිදුකළ New York Jets ක්‍රීඩා ඉසව්ව ඇතුළු බොහෝ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වලදී ඇය ජාතික ගීය ගායනයට ඇගේ හඬ ලබා දී ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම ඇය TEDx හි ප්‍රධාන කථිකයෙක් ලෙසත් කටයුතු කරනවා.

වැරදි පාරකට හරවපු කෙනෙක්‍ට “Recalculating”කියන මේ වචනය ඇයගේ හඬින් අහන්න ලැබීම උඹ නම් මෝඩ තකතීරුවෙක් යැයි මතක් කර දීමක් වගේ. කවුරු හරි ඇඟිල්ලෙන් ඇනලා පාර පෙන්නුවත් අපි සමහර වෙලාවට යන්නෙ වැරදි පාරවල්වල. GPS දාගෙන යන මිනිස්සුන්ටත් පාර වරදින වෙලාවල් එනවා. ඇය පෙන්නන පාරවල් දිගේ ගිහින් කාණුවල,වැව්වල,කඳු පල්ලම්වල වැටුණු නෝනා මහත්වරු ඉන්න බව වාර්තා වෙලා තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

ඒ නිසාම ඇය, ඇගේ හඬ දිගේ පාරවල්වල ජීවිතය හොයන් යන මිනිස්සුන්ට මෙහෙම කියනවා.

“ඔයාට පාරක් මඟ ඇරුණොත් ආයෙ හැරිලා එන්න පුළුවන්. ඒත් ජීවිතය මඟ ඇරුණොත් නැවත හැරිලා එන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැමවෙලාවෙම පරිස්සමෙන් වාහනය පදවන්න”

සුභා ගුණරත්න