ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ඊයේ හටගත් ගින්නකින් බන්ධනාගාර රැඳවියන් 41 දෙනෙකෙු මිය ගොස් තිබෙනවා. මෙම ගින්නෙන් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් 72 දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.

ඉන්දුනීසියාවේ වේලාවෙන් අලුයම 03 ට පමණ ගින්න හටගෙන තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ අධික තදබදයක් පැවති සිර කුටියකයි. එම කුටියේ රැඳවිය හැකි පිරිස 40 දෙනෙකෙු වුවත් රැඳවියන් 120 දෙනෙකු එහි රඳවා සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

2,000 කට වැඩි රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයේ රඳවා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක පළ කෙරෙන්නේ. ඉන්දුනීසියානු බන්ධනාගාර තුළ රඳවා සිටින මුලු රැඳවියන් ප්‍රමාණය දෙලක්ෂ 70,000 ක් පමණ වන අතර අධික තදබදය, අපිරිසිදු තත්ත්වයන් සහ සිර ගෙවල් බිදීම් විටින් විට එරටින් වාර්තා වනවා. මෙම අවස්ථාව යොදාගෙන රැදවියන් 250 ක් පමණ පලා ගොස් ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.