ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා සහ පුත් අභාවප්‍රාප්ත වෙයි

ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.

පසුව ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළේය.

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද විය.

ඉන් අනතුරව තායිලන්තය බලා පිටත්ව ගිය ඒ මහතා ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළේය.

අනතුරුව 1978 යළි ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.

එම ආයතනය මගින් මුද්‍රණය කළ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.

එමෙන්ම ගුණරත්න මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.

ඉන් අනතුරුව ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

මේ අතර එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන දමිත ගුණරත්න මහතා ද ඊයේ (27) දින හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් කලක් සේවය කළ ඒ මහතා ඊයේ (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.

දමිත ගුණරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.