එන්නත අත්හදා බැලීමට දරුවන් යොදා ගන්න එපා

දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් නිශ්චිත එකගතාවයක් නොමැති බවත්, ඒ නිසා දරුවන්ට එන්නත් ලබාදී පර්යේෂණ සදහා සහ අත්හදාබැලීම් සදහා යොදා නොගන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි සෝභිත හිමියෝ දේශීය වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිශක්තිය වර්ධනය වන ආකාරයේ ක‍්‍රමවේදයන් ගැන අවධානය යොමු කළ යුතු බවද කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෝභිත හිමියෝ පැවසූහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.

කොරෝනා වෛරසය නිසා අපි හැමෝම මුහුණදෙන අර්බුදය හමුවේ අපි හැමෝම දුර දිග බලා කටයුතු කළ යුතු වෙනවා. මේ වන විට ඒ ආකාරයට දුර දිග බලා කටයුතු කරන ආකාරයක් පෙනෙන්න නැහැ.

වෛරසවේදය පිළිබද මහාචාර්ය තිස්ස විතාරණ මහතා සමග මම අද සාකච්ඡා කළා. ඒත් එක්කම ශ්වසනරෝග විශේෂඥ චන්න ද සිල්වාගේ අදහස් ප්‍රකාශ කිරීම් වලටත් මම ඇහුම් කන් දුන්නා. මේ හැමෝම දරණ අදහස වෙන්නේ දරුවන්ට එන්නත් ලබාදීම පිළිබද ප්‍රශ්නය මෙතරම් ඉක්මනට ගන්න එපා කියන එකයි.

දරුවන්ට එන්නත් ලබාදීම සදාචාර විරෝධී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙනම් දරුවන්ට එන්නත් ලබාදීම ගැන තීන්දු ගන්නේ කවුද? එන්නත් ගත් විට රෝගය වැලදෙන්නේ නෑ කියලා මුලින් කිව්වා. ඊට පස්සේ රෝගය වැළදුනත් එන්නත් ගත් අයට අසාධ්‍ය වෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ අසාධ්‍ය වුනත් මැරෙන්නේ නෑ කියලා කිව්වා. ඒත් එන්නත් ගනිපු හැමෝම මරණයෙන් බේරුණාද? මෙවැනි අස්ථාවර තත්වයක් තුළ, ස්ථාවර විද්‍යාත්මක ක්‍රියාවලියකට අපේ දරුවන් යොමු කරන්නේ ඇයි?

හර්ෂ අතපත්තු වෛද්‍යවරයා කියන්නේ අවුරුද්දකට දරුවන් හැදීම කල් දමමු කියන අදහසත් අපිට සැක සහිතයි. පවුල් සංවිධාන මුවාවෙන් කරපු එකම දේ වෙන්නේ උපත් පාලනය විතරයි. තවත් අවුරුදු තුන හතරක් වෙනකොට පළමු ශ්‍රේණියට දරුවන් නැති වෙන්න පුලුවන්. සිංහල බෞද්ධ ජනවර්ගයේ අනාගතය ගැන හිතන දේශප්‍රේමීන් මේ ගැන අදහස් දක්වා තිබෙනවා.

මේ තත්වයේ අලුත් පෙරහුරුවක් ද දරුවන්ට එන්නත්කරණය හරහා එන්නේ. මේ අවුරුද්ද තුළ පිළිසිදගැනීම් නැවතීම යනු උපත් පාලනයේ අලුත් පිටුවක්ද පෙරලන්නේ?

කුසේ සිටින දරුවන්ට එන්නත නිසා බලපෑමක් එනවා නම්, කුඩා දරුවන්ට එන්නත ආරක්ෂිතයි කියන්නේ කොහොමද? වැඩිහිටියන්ට එන්නත් ලබාදීම ගැන තවම පර්යේෂණ සිදුවෙනවා. මේ අත්හදාබැලීම්වලට දරුවන් යොමු කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

තිස්ස විතාරණ මහාචාර්යතුමන් කියන ආකාරයට දරුවන්ට එන්නත් ලබාදීමට කලබල වෙන්න එපා. මේ එන්නත ගැන අපේ රටේ දේශීය වෛද්‍ය නිගමන කෝ? අපේ රටේ වෛද්‍ය විද්‍යාවල පර්යේෂණාගාරවල වාර්තා? ඒ ඒ රටවල නිෂ්පාදනය කරන එන්නත් ඒ ඒ රටවල ජනතාවගේ ජාන ශක්තිය අනුව සකස් කරන එන්නත් අපේ ජාන ශක්තියට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ.

දරුවන් අත්හදාබැලීම්වලට යොමු කරන්න එපා. මේ විෂය ගැන දන්න විශේෂඥයින්ගේ මතයට ගරු කරමින් තමයි මම මේ අදහස් ඉදිරිපත් කරන්නේ.

කොවිඩ් අර්බුදය ඇතිවුන අවස්ථාවේ සිටම දේශීය වෛද්‍ය ක්‍රමයට තැන දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. මේකට රසායනාගාර පරීක්ෂණ වාර්තා නෑ කියලා සමහරු කිව්වා. ජන සමාජය නැමති පර්යේෂණාගාරයේ වසර දහස් ගණනක් කළ පර්යේෂණවල ප්‍රතිපල ජනතාව අතර සජීවීව තිබෙනවා. ඒකම ඇති.

පාසල් විවෘත කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කරන්න. ඒ අතරම දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ආරක්ෂක බෙහෙතක් නිර්මාණය කරගන්නා හැටි අපි දෙමාපියන්ට කියලා දෙමු. දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව කැදක්, සුප් එකක්, දේශීය බෙහෙතක් නිර්මාණය කරලා අපි දරුවන්ට දෙමු. මාපිය සංගම් ඒකට තියෙනවා. ඒකට කැපවූ දේශීය වෛද්‍යවරු ඉන්නවා.

දරුවන්ට ස්වභාවික ප්‍රතිශක්තිකරණය මගින්ම කොරෝනා වෛරසය පරදවමු. දරුවන් අත්හදාබැලීම්වලට යොමු කරන්න එපා.

මෙහිදී අදහස් දැක්වූ චන්දන ජයලත් මෙසේ කීවේය.

මම අවුරුදු විස්සක් තිස්සේ තිස් පන්දහසකට උගන්වා තියෙනවා. ගුරුවරයෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට තමයි මම කතා කරන්නේ.

මට එන්නත් ගැන කතා කරන්න වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නෑ. අද අපේ පවුල්වලට ළමයි දහයක් පහලොවක් නෑ. ළමයි දෙන්නයි ඉන්නේ. පරීක්ෂා නොකළ එන්නතක් දරුවන්ට දීලා, අනාගතයේ අනර්ථකාරී දෙයක් වුනොත් කියන බය තමයි මට තියෙන්නේ..

මේ එන්නත දරුවන්ගේ ඇග ඇතුළට දැම්මම අයිමත් එළියට ගන්න බෑ. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවන්ට එන්නත් ගැහුවාට එන්නත ගන්න කැමතියි කියලා අත්සන් කරන්නේ නෑනේ. ඒත් කොරෝනා එන්නත දරුවන්ට දෙන විට අතුරු ආබාධවලට වග කියන්නේ නෑ කියලා තමයි ඒ කොලේ සදහන් කරලා තියෙන්නේ. එන්නත හදපු සමාගමගවත්, ගෙන්වා ගහන රජයවත්, නිලධාරීන්වත් මේ වගකීම භාරගන්නේ නෑ. අන්තිමේදී වගකීම තියෙන්නේ දෙමාපියන්ගේ අතේ.

දරුවන්ට මේවා තේරෙන්නේ නෑ. මම අවුරුදු විස්සක් තිස්සේ ළමයි එක්ක වැඩ කරනවා. දෙමාපියන් අද දවසේ හරි තීරණය ගත්තේ නැතොත් අනාගතයේ දවසක දෙමාපියන්ට සාප කරාවි. එවැනි තත්වයක් ඇතිවෙන්න දෙන්න එපා.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධණ මෙසේ පැවසුවේය.

ඉදිරි වසර තුළ දරුවන් හදන්නේ නැතිව සිටිමු කියලා අද වෛද්‍යවරු අදහස් දක්වනවා. මේ ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය කුමක්ද කියලා අපි අහනවා. දැනට පවතින එන්නතේ අතුරු ආබාධ තියෙනවා, තවත් අවුරුද්දකින් අලුත් එන්නතක් එනවා කියලත් අදහස් මතුවෙනවා.

ගැබිනි මව්වරුන්ට බෙහෙත් ලබාදීමේදී ඒ ගැන කාලයක් තිස්සේ පරීක්ෂණ කිරීමෙන් පසුව තමයි ලබාදෙන්නේ. එවැනි පරීක්ෂණ නොකළ එන්නත් දිගටම ගැබිනි මව්වරුන්ට දෙනවා. මේවායේ අතුරු ආබාධ එන්නේ දරුවන් ලොකු වන විට. මේවා ගැන අවධානය යොමු විය යුතුයි.

තවත් සතියකින් විතර අවුරුදු 18 ට අඩු දරුවන්ට එන්නත ගහන්න යනවා. එන්නතෙන් සිදුවන අතුරු ආබාධ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවාද? එහෙම සමීක්ෂණයක්, පරීක්ෂණයක් කරලා තියෙනවා නම් ඒවායේ වාර්තාවන් පෙන්වන්න.

කුඩා දරුවන්ට එන්නත් ගහන්න කලින් එන්නත ගත් අයට අතුරු ආබාධ තියෙනවාද කියලා බලන්න. කුඩා දරුවන් ලංසු තියන්න එපා. අපේ පවුල්වල දැන් ඉන්නේ දරුවන් එක්කෙනයි, දෙන්නයි. ඒ දරුවන් විනාශ කරන්න එපා.

ජාත්‍යන්තර ඖෂධ මාෆියාව, ඒ මාෆියාවට යට වුන අය හිතනවා නම් ඩොලර්වලට හරි යුවාන්වලට හරි අපි මිලදී ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි අදහසක් කියන එක මතකයේ තියාගන්න.

කොරෝනාවලට අපේ ආහාරය හොදින් වැඩ කරන වෙලාවේ අපේ යූ ටියුබ් නාලිකා බ්ලොක් කරනවා. මේ මාධ්‍ය නිදහස නැති කරන්න උත්සාහ කරන්න එපා කියලා අපි කියනවා. එන්නත ගැන තියෙන මතය මොකක්ද කියලා දැන් පැහැදිළි කළ යුතුයි.

එන්නත ගහපු අයගේ තත්වය ගැන දැන් සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ කරන්න. ඒකට පස්සේ දරුවන්ට එන්නත් ලබාදීම ගැන අවසන් තීරණයක් ගන්න. පරීක්ෂා නොකළ එන්නත් දරුවන්ට ගහන්න එපා.

එන්නත ගැන ඇත්ත කියන්න. ජනතාවගේ අදහස් ලබාගන්න.