
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මත නැග ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට 10 දෙනෙකු පමණ විරෝධතාවයේ නිරතවන බවය.
සිය දඬුවම ලිහිල් කරන්නැයි, ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිතර වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, රැඳවියන්ගේ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් දීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවය.
සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනකු ඉකුත් 12 වැනි දාට යෙදී තිබුණු “සිරකරු දිනය” නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරුනි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳී සිටි සිරකරුවන් 10 දෙනකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමිනි. වහලයක් මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන් 10 දෙනාට සහාය පළ කරමින් ඊයේ ( 20 ) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් බහුතරයක් ආහාර වර්ජනය කර තිබුණු බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 ක් පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ඝණයේ අපරාධකරුවන් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මුළු සිරකරුවන් ගණන 2,800 කට ආසන්න බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.