
තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. එයින් 90 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ ගණන 180 ට වැඩිය.
මියගිය 90 දෙනා අතර ඇමෙරිකන් මැරීන් සෙබළුන් 12 දෙනකු සහ නාවික හමුදා වෛද්‍යවරයකු සිටින බවත්, තවත් ඇමෙරිකන් සොල්දාදුවන් 15 දෙනකු තුවාල ලැබූ බවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. බ්‍රිතාන්‍යය පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ද තුවාල ලැබූවන් අතර සිටින බවය.
පුපුරා ගියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ පවසා ඇත. බෝම්බ ප්‍රහාර එල්ල වූයේ කාබුල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් වළකින්නැයි, විදෙස් රජයන් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබියදීය.
එක් බෝම්බයක් පුපුරා ගියේ ගුවන්තොටුපොළ පරිශ්‍රයට අයත්, ගුවන්තොටුපොළ ඉදිරියේ ඇති ‘බැරන්’ හෝටලයේය. ඒ ඊයේ (26) ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් සවස 6 ට පමණය. බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී බ්‍රිතාන්‍යයට යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන්ට අදාල ලියකියවිලි බාර දීම සහ ඔවුන් තෝරා ගැනීම සිදුකෙරෙන්නේ මෙම හෝටලයේය. හෝටලයේ ආරක්ෂාවට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් රඳවා තිබේ.
හෝටලයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයත් සමඟ වෙඩි තැබීමක් ද සිදුවුණු බව පැවැසෙයි. දෙවැනි බෝම්බය ගුවන්තොටුපළේ ‘ඇබී ගේට්’ නමැති දොරටුව අසලදී පුපුරා ගියේ වෙඩි තැබීම් සිදුවෙද්දීය. රටින් පිටවීමට ගුවන්තොටුපොළට ඇතුළු වීමට ඇෆ්ගන් වැසියන් ගේට්ටුව ඉදිරියේ සිටි අතර, ඔවුහු ප්‍රහාරයට හසුවූහ. එම සිවිල් වැසියන් මෙහෙයවීමට ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් යොදවා සිටි අතර, බෝම්බ ප්‍රහාරයට හසුවූයේ ඔවුන්ය.
කාබුල් ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව විදෙස් රජයන් කල් තියා අනතුරු ඇඟවීම් කර තිබුණේ බුද්ධි අංශ තොරතුරු අනුවය. බුද්ධි අංශවලට දැනගන්න ලැබී තිබුණේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, ‘අයි.එස්.කේ.’ නමැති අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් කාබුල් ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයකට සැරසෙන බවටය. ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අයත් ඇතැම් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම්වලට අයි.එස්. ත්‍රස්තවාදීන් පමණක් නොව අල් කයිඩා ත්‍රස්තවාදීන් ද එක් වී සිටින බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මොවුන් ප්‍රධාන තලේබාන් සංවිධානයට කීකරු නොවන බව ද පැවැසෙයි.
උපුටා ගැනීම – www.newsi.lk