කලු කුහරයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළුවුණොත්?

කළු කුහරයක කළු පැහැති විවර්ධන පැතලි තැටියක් අහස් ගැබේ හදිසියේම විද්‍යමාන වුව හොත් ඔබ කුමක් කරන්නෙහි ද? ග්‍රහලෝක අටකින් ද, චන්ද්‍රයන් සිය ගණනකින් ද, ග්‍රහක සිය දහස් ගණනකින් ද, උල්කාපාත බිලියන ගණනකින් ද සමන්විත අප සෞරග්‍රහ මණ්ඩලය, එය බිහි වූ දා සිට මේ තාක් කාලයකට එවැනි සංසිද්ධියකට මුහුණ දී නැත.

එහෙත් යම් හෙයකින් කෙදිනක හෝ එවැන්නක් සිදු වුවහොත්? කළු කුහරය නමැති බිහිසුණ අනාරාධිත ආගන්තුකයා විසින් සෞරග්‍රහ මණ්ඩලය ගිල දමනු ඇති ද? නැතහොත් සෞරග්‍රහ මණ්ඩලයේම ක්‍රියාකාරීත්වය ඉන් විකෘති වනු ඇති ද? කළු කුහරයකින් සෞරග්‍රහ මණ්ඩලයට හා පෘථිවියට ඇති කළ හැකි බලපෑම ගැන කතා කිරීමට නම් ප්‍රථමයෙන් කළු කුහරයක් යනු කුමක්දැයි වටහා ගත යුතුය.

ගුරුත්ව බලය

කුහරයක් යැයි පැවසුණ ද, කළු කුහර යනු ඇත්ත වශයෙන්ම කුහරයක් නොව, අභ්‍යවකාශයේ පිහිටි, වචනයෙන් කිව නොහැකි තරම් අති ප්‍රබල ගුරුත්ව බලයකින් යුතු අවකාශයකි. ඒ සා සුවිශාල ගුරුත්ව බලයක් ඊට හිමිව ඇත්තේ ඉතා කුඩා අවකාශයක් තුළ ඊට දැරිය නොහැකි අන්දමේ සුවිශාල පදාර්ථ ප්‍රමාණයක් එහි සම්පීඩිතව පවතින බැවිනි. නිදසුනක් ලෙස දැක්වුව හොත් විශ්වය බිහි වීමේ දී හට ගත් පරමාණුවක තරමේ කළු කුහරයක් තුළ අති දැවැන්ත කන්දක ප්‍රමාණයේ ස්කන්ධ පදාර්ථයක් සම්පීඩිතව පවතින අතර, තාරකා මිය යාමේ දී, එනම් සුපර්නෝවා පිපුරුමක දී හට ගන්නා අන්තරීක්ෂ කළු කුහරයක, හිරුගේ ස්කන්ධය මෙන් විසි ගුණයක පදාර්ථ ප්‍රමාණයක් ගැබ්ව තිබේ.

අන්තරීක්ෂ කළු කුහරවලටත් වඩා සුවිශාල ‘සුපිරි දැවැන්ත’ කළු කුහරවල ස්කන්ධය, සූර්යයන් මිලියනයකගේ ස්කන්ධය ඉක්මවාලූවක් වන අතර, සෑම චක්‍රාවාටයකම මධ්‍යයේ මෙවැනි සුපිරි දැවැන්ත කළු කුහරයක් පිහිටා තිබේ. ක්ෂීරපථය මධ්‍යයේ ද එවැන්නක් වන අතර, එය හැඳින්වෙන්නේ ‘සැජිටේරියස් ඒ’ යනුවෙනි.

ගුරුත්වයෙන් සේම ඝනත්වයෙන් ද අති ප්‍රබල මෙවැනි කළු කුහරයක් තුළින් ආලෝකය හෝ පිටතට ගමන් නොකරන්නේ ආලෝකයේ වේගය පවා ඉක්මවූ ගුරුත්ව බලයක් එහි ක්‍රියාත්මක වන බැවිනි.

අන් කිසිදු වස්තුවකට ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමට නොහැකි බැවින්, කළු කුහරයක් තුළට පතිත වන කිසිවකට ඉන් පිටවීමට හැකිවන්නේ නැත.

කළු කුහරයක් වෙත ළඟා වන ඕනෑම වස්තුවක් කුඩා තිතක් බවට සම්පීඩනය වන්නට ගත වන්නේ නිමේෂයකි. එවන් විනාශකාරී හැකියාවකින් යුතු කළු කුහරයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වීම යනු පෘථිවිවාසීන් ඇතුළු සෙසු සියලුම ග්‍රහලෝකවලට විනාශකාරී සිදුවීම් දාමයක ඇරඹුමක් බවට සැකයක් නැත.

උල්කා වර්ෂා

කළු කුහරයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළුව ඇති බවට අපට මුල්ම සලකුණ ලැබෙන්නේ සෙසු ග්‍රහයන්ගේ භ්‍රමණ කක්ෂවල සිදු වන සුළු වෙනස්කම්වලිනි. ක්‍රම ක්‍රමයෙන් කළු කුහරය සෞරග්‍රහ මණ්ඩලයේ බාහිරම කොටස වන ‘ඌට් වලාවට’ ළඟා වීමේ දී විනාශකාරී සිදුවීම් දාමය ක්‍රමයෙන් ඇරඹෙනු ඇත. කළු කුහරයේ ගුරුත්ව බලය නිසා ඌට් වලාව පිරී පවතින උල්කාපාත අධික වේගයකින් යුතුව සෞරග්‍රහ මණ්ඩලය තුළට කඩා වදිනු ඇත්තේ පෘථිවිය ද බිහිසුණු උල්කා වර්ෂාවකට ගොදුරු කරවමිනි.

නමුත් තවමත් අපට කළු කුහරය දැක ගැනීමට පුළුවන්කමක් නැත. අඳුරු පදාර්ථයෙන් නිර්මිත වූවක් බැවින්, කළු කුහරයක් දැක ගැනීමට ලැබෙන එකම අවස්ථාව නම් එය වායු භක්ෂණය කිරීමේ දී ශක්තිය පිටවන අවස්ථාවේදි පමණය.

ග්‍රහක වළල්ලේ ඇතුළත දාරයට ළඟා වූ විට කළු කුහරය සතු ආලෝකය වලයාකාරව නැවීමේ හැකියාව නිසා, එවැනි අවස්ථාවක දී එය විශේෂිත දුර දක්න ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත. මෙම අවස්ථාව වන විට වෙනත් ග්‍රහයන් සමඟ කළු කුහරය දක්වන ප්‍රතික්‍රියා නිසා එය වඩාත් දෘශ්‍ය තත්ත්වයට පත් වනු ඇත. 

කළු කුහරය තව දුරටත් සෞරග්‍රහ මණ්ඩලය තුළට ඇදී ඒමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු ග්‍රහලෝකවල කක්ෂවලට ඉන් දැවැන්ත බලපෑමක් එල්ල වත්දි වැඩිම විනාශයක් සිදු වනු ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයා වන බ්‍රහස්පතිටය. කළු කුහරය විසින් බ්‍රහස්පතිගේ වායූන් ඇද ගැනීම නිසා ඒ වටා එක්ස් කිරණ නිකුත් කරන, දීප්තිමත් වායුමය වලාවක් හට ගනු ඇත. කළු කුහරයට වඩා බ්‍රහස්පති කිහිප ගුණයකින් සුවිශාල වුව ද අවසානයේ දී, කළු කුහරය විසින් එය මුළුමනින්ම භක්ෂණය කර දමනවා ඇත. මේ වන විට පෘථිවිය ද නියත ලෙසම මැදි වන්නේ විශාල ව්‍යසනයකටය.

කළු කුහරයේ ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ කක්ෂය ද වෙනස් වී, එය සූර්යයා කරා ඇදී යන්නට පටන්ගෙන අවසන්ය. කළු කුහරය පෘථිවියේ භ්‍රමණ කක්ෂය පසු කරත්දීත්, ඉන් පෘථිවියේ උදම් බලය කෙරෙහි ඇති කරන බලපෑම නිසා හට ගන්නා, මෙතෙක් මිහිපිට කිසිදා ඇති නොවු ආකාරයේ භූමිකම්පා හා ගිනිකඳු පිපීරීම් ආදියෙන් නිකුත් වූ ලාවා හා ලෝදියෙන් පෘථිවි ස්තරය වැසී ගොස් තිබෙනු ඇත. ඇතැම් විට මෙම අවස්ථාව වන විට, එය සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යන්නට ද බැරි නැත.

ක්ෂීරපථය නම් චක්‍රාවාටය

මේ වන විට නියත ලෙසම පෘථිවිය මත ජීවය ද මුළුමනින්ම තුරන්ව ගොස් අවසන්ය. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.9%ක්ම සූර්යයා සතු බැවින් සූර්යයා හා කළු කුහරය එකිනෙකා කෙරෙහි ඇති කරන ගුරුත්වයේ බලපෑම අති විශාලය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කළු කුහරය සූර්යයා වෙත ආකර්ශණය වත්දි, සුර්යයාගේ වායූන් ද කළු කුහරය තුළට ක්‍රමයෙන් ඇදී යන්න පටන් ගන්නවා ඇත.

 පෘථිවිය ද කළු කුහර-සූර්ය යුගලය වෙතට ඇදී ගොස්, ඉන් ඇති කරන අති ප්‍රබල ගුරුත්වයේ බලපෑමට හසුව සුනු විසුනුව යනු ඇත. මේ සා දරුණු ව්‍යසනයක් සිදු කළ හැකි කළු කුහරයක් සැබවින්ම සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වීමේ හැකියාවක් තිබේ ද?

දැනට අප සතුව ඇති දැනුමට අනුව නම් ක්ෂීරපථය නමැති චක්‍රාවාටය මධ්‍යයේ හැර, සෞරග්‍රහ මණ්ඩලයේ අන් සෙසු තැනක මෙවැනි ව්‍යසනයක් සිදුවීමේ හැකියාවක් නැත. පෘථිවියේ පිහිටීමට සාපේක්ෂව කළු කුහර අතර වන දුර ඉතා ඉහළ වන අතර ඒවායේ ගනත්ව සාපේක්ෂව අඩුය. ඒ අප වසන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ තුන් වැනි බාහිර ස්ථරයේ පිහිටීම නිසාවෙනි.

අනෙක් අතට කළු කුහර වෙනත් ග්‍රහලෝක, තාරකා හා චන්ද්‍රයන් භක්ෂණය කරමින් සැරිසරන ග්‍රහ වස්තු විශේෂයක් වන්නේද නැත. ඒවා විශ්වය තුළ අතිශයින්ම විරලය. එසේම පෘථිවිය එවැනි කළු කුහරයක් තුළට ඇද වැටීමේ හැකියාවක් ද නැත්තේ පෘථිවියට එවැන්නක් කිරීමට තරම්, සෞරග්‍රහ මණ්ඩලයට සමීපව පිහිටි කළු කුහරයක් ද නැති නිසාය.

සූර්යයාගේ ස්කන්ධයට සමාන ස්කන්ධයකින් යුතු කළු කුහරයක් විසින් සූර්යයාගේ තැන ගත්ත ද, පෘථිවිය ඒ වෙත ඇදී යෑමේ හැකියාවක් නැත්තේ, කළු කුහරය ද සූර්යයා හා සමාන ගුරුත්වයකින් යුතු නිසා, පෘථිවිය ඇතුළු සෙසු ග්‍රහලෝක ඒවා දැන් කරනවාක් මෙන් කළු කුහරය වටා පරිභ්‍රමණය වීමට පෙලඹෙන නිසාය.

නමුත් නාසා ආයතනය තිර කොට පවසන පරිදි සූර්යයා කෙදිනකවත් කළු කුහරයක් බවට පත් වීමේ අවදානමක් නැත්තේ, එවැන්නක තත්ත්වයට පත් වීමට තරම් එය විශාල නොවන බැවිනි. ඒ අනුව බලන කල පෘථිවිය කළු කුහරයකට ගොදුරු වීම තරම් දරුණු විනාශයකට මුහුණ නොදෙනු ඇතැයි සිතා අපට සතුටු විය හැකිය.

රුක්ලන්ති පෙරේරා

උපුටාගැනීම – දිනමිණ (ද්වාර)