
චීන පිරිමින් සමඟ විවාහ ගිවිස ගැනීමට ආසියාතික රටවලින් එන තරුණ ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට ඇති ඉල්ලුම පසුගිය වසර කිහිපය තිස්සේ ඉහළ යමින් පවතින්නකි. හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන ආකාරයට කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මියන්මාරය, නේපාලය, උතුරු කොරියාව, පාකිස්තානය සහ වියට්නාමය චීන මනාළියන් ලෙස විකිණීම සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් ජාවාරම් කිරීමේ මූලාශ්‍ර රටවල් බවට පත්ව ඇති රටවල් ලෙස සැලකේ. මධ්‍යම ආසියාවේ, විවාහ නියෝජිත ආයතන හරහා චීන ස්වාමිපුරුෂයන් සොයා ගැනීමෙන් පසු වෙහෙස මහන්සි වී වැඩ කිරීමට හා ගෘහස්ථ හිංසනයට මුහුණ දුන් උස්බෙකිස්තාන කාන්තාවන් ද මේ අතර සිටිනවා.
ඔවුන්ගෙන් කොටසක් සමෘධිමත් ජීවිතයක් ගත කිරීමට චීන මිනිසෙකු සමඟ විවාහ වීමට කැමැත්තෙන්ම පැමිණි අයයි. තවත් අය රැකියා සඳහා බව පවසා චීනයට එවූ අය බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් චීන සැමියන් සමඟ විවාහ වූ බොහෝ කාන්තාවන්ට ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ සුඛිත මුදිත ජීවිත උදා වී නැහැ.
ලිංගික සහ ශාරීරික අපයෝජන…
චීනයේ සිට ආපසු සිය රටවලට ගෙන්වා ගත් කාන්තාවන් විස්තර කළ ආකාරයට ලිංගික, ශාරීරික සහ මානසික අපයෝජන, සිරගත කිරීම්, වධහිංසා පැමිණවීම් සහ බලහත්කාර ශ්‍රමය පිළිබඳ අත්දැකීම් රැසක් මේ වන විට හෙළිදරව් වී අවසන්. ඒ අතර කාම්බෝජ බලධාරීන් පවසන්නේ මෙම අපරාධවලට වින්දිතයන්ගේ ඥාතීන් බොහෝ විට හවුල් වන බැවින් අපරාධ මැඩලීමට අපහසු වූ බවයි. ජාවාරම්කරුවන් විසින් ඩොලර් දහස් ගණනින් මුදල් ලබා දීම නිසා දුප්පත් ග්‍රාමීය පවුල්වලට මෙම අපරාධ සඳහා විරෝධතා එල්ල කිරීමට නොහැකි බව පැවසෙනවා.
පවතින තොරතුරුවලට අනුව, චීනයේ පවුල් ආරම්භ කිරීමට නොහැකි පිරිමි මිලියන ගණනක් සිටිනවා. විදේශීය මනාළියක් සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000කට වැඩි මුදලක් ගෙවීමට ඔවුන් කැමැත්තෙන් සිටින බැවින් චීනයේ බලහත්කාර විවාහයන් සඳහා විදෙස්ගත කාන්තාවන් කොටු කර ගැනීමේ පුරුද්ද අලුත් දෙයක් නොවන බව පැවසෙනවා. එරට දෑවැදි ප්‍රතිපත්තිය අනුව චීන පිරිමියෙකුට චීන කාන්තාවක් විවාහ කර ගැනීමට අධික මුදලක් ගෙවීමට සිදුවීම නිසා විදෙස් කාන්තාවක් විවාහ කර ගැනීම ඔවුන්ට සැබවින්ම ලාභදායි වනවා . බොහෝ විට විදෙස් කාන්තාවන්‍ට විවාහ වීමට ලැබෙන්නේ චීනයේ ඈත පිටිසර ගම්බද පළාත්වල පිරිමින් බව වාර්තා වී තිබෙනවා.
චීන මනාළියන්ට ඉල්ලුම වැඩිවීමට හේතු…..

ආසියාතික රටවල මනාළියන්ට මේ ආකාරයෙන් චීනයේ ඉල්ලුම වැඩිවීමට ප්‍රධානම හේතුව වන්නේ 2016 වන තෙක් රජය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ එක් දරු ප්‍රතිපත්‍තියේ ප්‍රතිවිපාකයි. එම ප්‍රතිපත්තිය මේ වන විට රටේ උග්‍ර ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙනවා. චීනයේ එක් දරු ප්‍රතිපත්තිය (1980) 2016 වන තෙක් ක්‍රියාත්මකව පැවති අතර ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහණය ආර්ථික වර්ධනයට වළ කපන බවට ඇති බිය නිසා පාලක කොමියුනිස්ට් පක්ෂයට එය වෙනස් කිරීමට බල කෙරුණි. පුතුන් සඳහා වන මනාපය හා පුළුල් ලිංගික වරණ එක් පසකින් චීනයේ ගබ්සාව ඉහළ යාමට හේතු වී තිබෙනවා. පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ දරුවන් ඉපදීම සිදු කළ යුතු මිලියන 30 ත් 40 ත් අතර චීන කාන්තාවන් “අතුරුදහන්” බවයි.
ඉන්පසු රජය ක්‍රියාත්මක කළ දෙදරු ප්‍රතිපත්තියට ද යහපත් ප්‍රතිඵල ලබා දිය නොහැකි වූ අතර ඉන් පසුව තුන්දරු ප්‍රතිපත්තිය ගෙන ඒමට රජය කටයුතු කළා. ජනගහණ විශේෂඥයින් තවමත් මේ ප්‍රතිපත්ති වෙනස ගැන සැකයෙන් පසුවන අතර ඉහළ ජීවන වියදම සහ දිගු වැඩ කරන කාලය වැනි සාධක හේතුවෙන් 2016 වෙනස් කළ නොහැකි වූ අභියෝගවලට මුහුණ දිය හැක්කේ කෙසේද යන්න ගැන කල්පනා කරමින් සිටිනවා. මෑතකදී චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අධ්‍යයනය කළ එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේ පසුගිය වසරේ (2021) අඛණ්ඩව හයවන වසරටත් උපත් අනුපාතය පහත වැටීමක් වාර්තා කළ බවයි. ජනගහණ වර්ධනයේ සැලකිය යුතු වෙනසක් සිදුවී පැතිරී ඇති ස්ත්‍රී පුරුෂ අසමානතාවය සහ වෙනස් කොට සැලකීම් සමඟ ග්‍රහණය කර ගැනීමට ෂී ජින්පින්ග් පාලන තන්ත්‍රයේ මෙම ප්‍රතිපත්ති මඟින් තවමත් අපොහොසත් වී ඇති බව වාර්තා පවසනවා.
එක් මාර්ගයක් එක් තීරණයක්….
චීනයේ එක් මාර්ගයක් එක් තීරණයක් ප්‍රතිපත්තිය හේතුවෙන් ණය උගුල්වල සිරවූ රටවල්වල කාන්තාවන් මෙම තත්ත්වයට ගොදුරු වීම වැඩි වී ඇති අතර එම රටවල රජයන්ට මෙයට එරෙහිවීමට නොහැකි තත්ත්වයක් මතු වීම මෙම ප්‍රශ්ණයේ තවත් අන්තයක්.
ප්‍රවීණයන් පවසන්නේ මෙම වැඩි දියුණු කළ කලාපීය සබඳතාවය මෙන්ම චීනය සමඟ ශක්තිමත් ව්‍යාපාරික සබඳතාවල එකතුව හේතුවෙන් විවාහක නියෝජිත ආයතන සහ නීති විරෝධී තැරැව්කරුවන්ගේ ප්‍රබල ජාලයන් පැතිරීම වැළැක්වීමට රජයන් අපොහොසත් වීමට බලපා ඇති බවයි.
එමෙන්ම කාන්තාවන්ට මව් රටවල අවස්ථා නොමැතිකම,දරිද්‍රතාවය ජාවාරමට ලක්වන කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බවයි.
කාම්බෝජය,වියට්නාමය වැනි රටවලින් “මනාළියන්” චීනයට ප්‍රවාහනය කිරීම 2020 අගභාගයේදී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විශාල රැකියා අහිමිවීම් සමඟ තියුණු ලෙස ඉහළ යාමට හේතුවුණා. පසුගිය දශකය තුළ අග්නිදිග ආසියාවේ කාන්තාවන් දස දහස් ගණනක් ලාභදායී රැකියා පොරොන්දු වෙමින් අපරාධ ජාලයන් මගින් චීනයට යවා ඇති බව සඳහන් වෙනවා.විශාල ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයක් සමඟ පොරබදමින් සිටින චීනයට මනාළියන් ලෙස ඔවුන් විකිණීමේ ජාවාරම් මේවන විට පුළුල් වී ඇත්තේ ඒ අනුවයි. තරුණ කාන්තාවන් සඳහා රැකියා නැති වීම හා වෙනත් විකල්ප නැති වීම අපරාධකරුවන්ට කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් නැඹුරු කර ගැනීම වඩාත් පහසු වී ඇති බව මිනිස් ජාවාරමට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන පවසනවා.
මානව හිමිකම් සංවිධාන අවධාරණය කරන්නේ මීට වසර දෙකකට පමණ පෙර මෙම අර්බුදය මුල්වරට හෙළිදරව් වීමෙන් පසු මේ දක්වා වාර්තා වෙමින් පවතින සිදුවීම් අඛණ්ඩව වැඩිවෙමින් පවතින බවයි. වින්දිත කාන්තාවන්ගේ පවුල් නිල වශයෙන් පැමිණිලි කිරීමට දක්වන බිය සැලකිල්ලට ගත් විට වාර්තා නොවූ සිදුවීම් මීටත් වඩා වැඩිවිය හැකියි.
මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් චීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය වාර්ෂික වැඩ වාර්තාවේ මිනිස් ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පනවන බව ප්‍රකාශ කර තිබෙනවා. රජයේ දෙපාර්තමේන්තු මේ වසර මුලදී ඒ වෙනුවෙන් පියවර සහ නීති මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, කාන්තාවන් සහ ළමුන් ජාවාරම් කිරීම ඉලක්ක කර ගනිමින් වසරක ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එම ප්‍රශ්නය විසඳීම සඳහා “සිය බලය තුළ සියල්ල” බලමුලු ගන්වන බවත් නිවේදනය කර තිබෙනවා. එහෙත් ආසියාතික කාන්තාවන් ජාවාරම් කිරීම සම්පූර්ණයෙන් නතර වී නොමැති බැවින් මෙම පියවර චීනයට මනාළියන් ලෙස විකිණෙන ආසියාතික කාන්තාවන්ගේ ඉරණම විසඳීමට ප්‍රමාණවත් දැයි කීමේ හැකියාවක් නැහැ.
සුභා ගුණරත්න
