අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප්

බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ට ප්‍රධාන චූදිතයකුව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හට ද විශ්‍රාම වැටුප හිමිවීමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ.

ඊට හේතුව වී ඇත්තේ හිටපු මහ බැංකු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීන්දුවය. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව මෙසේ හිටපු සියලු මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී තිබේ.

වසර අටහමාරක කාලයක් (2006.07.01 සිට 2015.01.08) මහ බැංකුවේ අධිපති ලෙස සිටි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහුගේ පත්වීම් ලිපියට අනුව හිමි විශ්‍රාම වැටුප ඉල්ලා ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් තහවුරුකර තිබේ.

“හිටපු සියළුම මහ බැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල්ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට කබ්රාල් උත්සාහ කරයි” (“Cabraal pushes for pensions with arrears for all Central Bank governors) යන මැයෙන් 2021 සැප්තැම්බර් මස 5 වැනි ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධයෙන් කබ්රාල් මහතාගේ මාධ්‍ය ලේකම් අමිල රාජපක්ෂ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ කබ්රාල් මහතා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද ඔහුට විශ්‍රාම වැටුප් නොලැබුණු බැවින් ඒ සම්බන්ධයෙන් 2019.02.12 වැනිදා එවකට මහබැංකු අධිපතිව සිටි කුමාරස්වාමි මහතාගෙන් කබ්රාල් මහතා ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි.

ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ අනෙකුත් මහ බැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක තමා විසින් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත් පවතින නඩු කටයුතු හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විශ්‍රාම වැටුප හිමිවේද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්ද මේ වනවිට මතුව තිබේ.