
නිශ්චල දේපළ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීමක් ලෙස පිහිටුවා දැනට ශත වර්ෂයක් පසු කරන හොලිවුඩ් සලකුණ (HOLLYWOOD Sign) අද වන විට චිත්‍රපට කර්මාන්තයේ පමණක් නොව ලෝකයේ විවිධ වූ සංස්කෘතීන් අතර ඇති එක් සංස්කෘතියක් නියෝජනය කරන සංස්කෘතිකමය නිරූපකයක් බවට පත් වී හමාරය. 1943 වසරේදී පමණ දේපොළ සංවර්ධකයන් වන S. H. Woodruff සහ Tracy E. Shoults “Holly woodland” නමින් නව ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට පටන් ගත්හ. එහිදී Hollywood ලකුණ නව නිවාස ගැනුම්කරුවන් කඳු බෑවුම වෙත ඇද ගැනීම ට සමත්වන චමත්කාර විශාල දැන්වීම් පුවරුවක් ලෙස පවත්වාගෙන යෑමට ඔවුන් අදහස් කළහ. ඒ අනුව මෙය පළමුව ගොඩනැගී ඇත්තේ දේශීය දේපළ වෙළඳාම් සංවර්ධනය සඳහා වූ Hollywood යන අකුරුවලින් සමන්විත වෙළඳ දැන්වීමක් ලෙසිනි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි හොලිවුඩයට ඉහළින් පෙනෙන Hollywood සලකුණ ඇමරිකාවේ සුවිශේෂි සංධිස්ථානයකි. මුලින් “Holly woodland” සලකුණ, සැන්ටා මොනිකා කඳුකරයේ බීච්වුඩ් කැනියොන් ප්‍රදේශයේ ලී කන්දෙහි පිහිටුවා තිබිණි. Hollywood යන වචනය අඩි 45-උස (මීටර් 13.7) සහ අඩි 350 (මීටර් 106.7) දිගකින් යුතුව සුදු පැහැති ඉංග්‍රීසි කැපිටල් අකුරුවලින් නිර්මාණය කර තිබේ.
හොලිවුඩ් සයින් ට්‍රස්ට් සංවිධානය…
කැලිෆෝනියාව සහ එක්සත් ජනපදය අතර ඉතා ප්‍රකට භුමි දර්ශකයක් ලෙස Hollywood සලකුණ මේ වනවිට ඉතා ජනප්‍රියව පවතින්නක් වන අතර විශේෂයෙන් හොලිවුඩයේ හෝ ඒ අවට සකසන ලද චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සඳහා රූගත කිරීම්වලදී මෙම සලකුණ නිතර දක්නට ලැබීම විශේෂිතය. මේ වනවිට මෙම ලකුණ පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් එහි ආරක්ෂාව සහ ප්‍රවර්ධනය සම්බන්දයෙන් සොයා බලනු ලබන්නේ හොලිවුඩ් සයින් ට්‍රස්ට් සංවිධානය විසිනි.
අප මේ ආකාරයෙන් කතා කරනු ලබන කන්ද මුදුනත සවිකල අකුරු කිහිපය මීට වසර 40කට පෙර සම්පූර්ණයෙන්ම ඉවත්කර දමා නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කෙරිණි. පසුව එය නිරන්තර අලුත්වැඩියාවන් වලටද ලක්කෙරිනි. කෙසේ වුවද මේ වන විට මෙකී අකුරුවල අයිතිය ඇත්තේ හොලිවුඩ් වාණිජ මණ්ඩලයටය. මෙහි විදුලි බුබුළු දැල් වූයේ වර්ෂ 1933 දක්වා පමණකි. මන්ද විදුලි බුබුළු නඩත්තු කිරීම මිල අධික වූ බැවින් එකල මෙහි අයිතිය හිමිව තිබූ ෂර්මන් සමාගම ඒවා නිවා දැමීමට තීරණය කළහ.
එදා පටන් හොලිවුඩ් ලකුණ විදුලි බුබුලෙන් තොර විය. 1940 ගණන් වන විට, පුවරුව සුළි කුණාටුවක් නිසා ගරාවැටී අබලන් වූ අතර,එය එදවස පුවත්පත්වල පළවූයේ “A recent windstorm made a cockney out of Holly woodland,” ලෙසිනි. මෙනිසා ඒවා කළමනාකරණය කිරීම සඳහා නිල වශයෙන් නගර පාලනයට ලබා දෙන ලදී. 1944 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත මේ පුවරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සඳහන් කර සිටියේ දැන් එහි පෙනන්නට තිබෙන්නේ “OLLYWOODLAND” අකුරු කිහිපය පමණක් බවය.
1970 ගණන්වල අග භාගය වන විට, නැවත අබලන් වීමත් සමඟ එය අලුත් වැඩියා කිරීම සඳහා ඉදිරිපත් වූයේ හියු හෙෆ්නර්ය. 1978 දී, ප්ලේබෝයි සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් ඔහුගේ මන්දිරයේ උත්සවයක් පැවැත්වූ අතර, එහිදී ඔහු සහ රොක් සංගීතඥ ඇලිස් කූපර් ඇතුළු තවත් පරිත්‍යාගශීලීන් අට දෙනෙකුගේ සහභාගිත්වයෙන් අලුත්වැඩියාව වෙනුවෙන් ඩොලර් 28,000 බැගින් ලබාදීමට පොරොන්දු විය. ඒ අනුව නව සලකුණ අඩි 450ක් දිග, අඩි 45ක් උස වූ අතර වානේ සහ කොන්ක්‍රීට් වලින් සමන්විත එම අකුරුවල සම්පූර්ණ බර, රාත්තල් 480,000ක් විය.

හොලිවුඩ් ලකුණ නැරඹීම….
හොලිවුඩ් ලකුණ නැරඹීමට හොඳම ස්ථාන ලෙසින් සඳහන් වන්නේ Griffith Observatory සහ Highland ය. ග්‍රිෆිත් උද්‍යානයේ මංපෙත් දිගේ මෙදෙසට ගමන් කළ හැකි නමුත් ඕනෑවට වඩා සමීප විය නොහැක. චිත්‍රපට අධ්‍යක්ෂ වරුන් විසින් මෙම Hollywood අකුරු කිහිපය මුල් කරගනිමින් දර්ශන තම චිත්‍රපටයට ඇඳා ගැනීමට සමත් වූ අතර මේ වනවිට චිත්‍රපට දහස් ගණනක මෙම අකුරු කිහිපය දර්ශනය වී ඇති බව දැක්වේ.
මෙම ඉදිකිරීම් සමඟ ව්‍යාපාරික හොවාර්ඩ් හියුස් 1940 දී Hollywood සලකුණට බටහිරින් අක්කර 138 ක් මිලදී ගනු ලැබුවේ ඔහුට සහ ඔහුගේ පෙම්වතිය වන නිළි ජින්ජර් රොජර්ස් සඳහා එහි මන්දිරයක් තැනීමේ අදහසිනි. කෙසේ වෙතත්, රොජර්ස් ඔහුගෙන් වෙන්වීමෙන් පසු ඔහු එම සැලසුම් අත්හැර දමන ලදී. 2002 දී හියුස්ගේ වතුයාය චිකාගෝ හි ආයෝජන සමාගමකට විකුණන තෙක් එම ඉඩමෙහි විශේෂිත කිසිවක් සිදු නොවීය.
මුලින්ම දැව සහ වානේවලින් තැනූ හොලිවුඩ් සලකුණ අද වන විට සම්පූර්ණයෙන්ම වානේවලින් සකසන ලද්දකි. ඇමරිකානු ඩොලර් 21,000ක් මෙය නිර්මාණය කිරීමට වියදම් වූ බවට ගණන් බලා ඇත.
මේ කතාවන් අතරම ඉතිහාසගත සිදුවීම්ද නැතුවා නොවේ. එනම්, 1932 සැප්තැම්බරයේදී 24 හැවිරිදි නිළි Peg Entwistle සියදිවි නසාගැනීමෙන් මිය යාමයි. ඇය මියගියේ එහි වැඩ කටයුතු කරමින් සිටි සේවකයකුගේ ඉණිමඟක් දිගේ ඉහලට ගොස් ‘H’ අකුරේ මුදුනේ සිට බිමට පැනීමෙනි. පසුව ඇගේ සිරුර සොයාගනු ලැබුවේ කඳු බෑවුමක තිබියදීය. ඇය සියදිවි නසා ගැනීමට හේතුව ලෙස විවිධ පුවත්පත් සඳහන් කළේ ඇයගේ රංගන දිවියේ අසාර්ථකත්වයයි. විශේෂිතම කරුණ වන්නේ සියදිවි නසා ගන්නා තරුණියක් පිළිබඳ නාට්‍යයක ප්‍රධාන චරිතය ඇයට ලබා දෙන ලෙස ඇයගේ මරණයට මොහොතකට පෙර ලිපියක් ඇයට තැපැල් කර තිබීමයි.
ජනප්‍රිය සංස්කෘතිය තුළ සංස්කෘතිකමය නිරූපණයක් ලෙසද ඉතිහාසගත වී ඇති හොලිවුඩ් සලකුණ හොලිවුඩයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ආකර්ෂණය දිනාගත් අමරණීය සටහනක් ලෙස මතකයේ තැන්පත් වී අවසන්ය.
රසිකා හේමමාලි
