කටුනායකට සහ මත්තලට ප්‍රහාරයක් එල්ල වන බවට පණිවිඩයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලැබුණු ඊ මේල් පණිවිඩයක් හේතුවෙන් කටුනායක සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තරකර ඇතැයි වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළට සහ මෙරට ප්‍රධාන පෙළේ රජයේ ගොඩනැගිලි කිහිපයක් වෙත එළැඹෙන සැප්තැම්බර් මස 20 වැනිදා ප්‍රහාරයන් එල්ල කරන බවට මෙම ඊ-මේල් පණිවිඩයේ සඳහන්ව ඇතැයිද සඳහන්. එසේම, එම ඊමේල් පණිවිඩය එවූ පුද්ගලයින් සඳහන් කර ඇත්තේ ඔවුන් නම් කරන සිව්දෙනෙකු වහාම මුදාහරින ලෙසයි.

අදාළ ඊ-මේල් පණිවිඩය පරික්ෂා කිරීමට යාමේදී ගුවන් තොටුපොළ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර දත්ත සොරකම් කිරීමේ අරමුණින් හෝ වෙනත් අරමුණකින් මෙය සිදුකළාද යන්න පිළිබඳව මේ වන විට සැකයක් මතුව තිබේ.

බංග්ලාදේශයේ හමුදාවට සම්බන්ධ ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ ඔස්සේ මෙම ඊ-මේල් පණිවිඩය කටුනායක ගුවන්තොටුපොළ වෙබ් අඩවිය වෙත ඒවා ඇති බවටත් මේ වන විට තොරතුරු ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙම අනතුරු ඇඟවීම් සහිත ඊමේල් පණිවුඩය සමඟ කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කර හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන පෙරහුරු පසුගිය 14 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබුණු බවයි වාර්තා වන්නේ.

බුද්ධි තොරතුරු කිසියම් ඊමේල් පණිවුඩයක් හරහා මේ බව අනාවරණය කරගෙන ඇති අතර ආරක්ෂක අංශ මේ පිලිබඳ තහවුරු කරගෙන නොතිබුණු බවද පැවසේ.

මේ පිළිබඳ අවධානය යොමු කළ ආරක්ෂක බලධාරීන් අදාළ ගුවන්තොටුපළවල ආරක්ෂාව දැඩි කරන ලෙස දන්වා තිබේ.

මුලින්ම මේ බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දන්වා තිබූ අතර පසුව ඔවුන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාවද තර කරන ලෙසට උපදෙස් දී තිබේ.