11 වසරේ සිසුවාට පහර දුන් හිමි නම අත්අඩංගුවට

වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දුන් බව කියන එම පාසලේ ගුරු හිමිනමක් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි

ඊයේ (28) දහවල් එම පාසල තුළදි සංජුල දිනේෂ් කුමාර නමැති ශිෂ්‍යාට රීප්ප පටියකින් පහර දී ඇති අතර තැලුම් පහරවල් සහිත දරුවා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ .

එම ගුරු හිමිනමට විහිළු කිරිමේ සිද්ධියක් මෙම පහරදීමට හේතු වී ඇති අතර ගුරුවරයාගේ පහරකෑමට ලක්ව ඇත්තේ වෙනත් සිසුවෙකි.

දරුවා රැගෙන ඒම සඳහා දරුවාගේ පියා පාසලට අසලට ගිය අවස්ථාවේ එම සිසුවාගේ මිතුරන් කිහිපදෙනෙකු පාසල අසල සිටි දරුවාගේ පියාට මේ සම්බන්ධ සියලු විස්තර පවසා ඇති අතර ඔහු තම දරුවා රැගෙන ඒමට පාසල තුළට ගොස් තිබේ .

තම දරුවාට සිදු වූ පහරදීම සම්බන්යෙන් දරුවාගේ පියා වන සමන් කුමාර නමැති අය වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර වැල්ලවාය කලාප අධ්‍යපන අධ්‍යක්ෂවරයාට ද ළමා රක්ෂණ අධිකාරියට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. කරුණාතිලක මහතාගෙන් අප කළ විමසීමකදි ඒ මහතා පවසා සිටියේ විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී ඊයේ උදෑසන මෙම සැකකාර ගුරු හිමි නම විහාරස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

වැල්ලවාය කලාප අධ්‍යපන අධ්‍යක්ෂ ඒ. ඩබ්. සේමපාල මහතාගෙන් අප කළ විමසීමකදි ඒ මහතා පවසා සිටියේ මෙම ගුරු හිමි නම එම පාසලින් ඉවත් කර විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ජී.අයි.ආර්. ගරුසිංහ
වැල්ලවාය