ළඟ එන අලුත් අවුරුද්දට බඩු මිල අඩු වෙන ලකුණු

ලබන මස එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කෙරෙනු ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන් ආනයනකරුවන්ට අවාසියක් සිදුවුව ද එහි වාසිය මහජනතාවට ලබා දෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ අවස්ථාවේ ආනයනකරුවන්ට පාඩු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන්ට ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබා දෙනවා. මිල වැඩිවෙද්දි මේ තත්ත්වය වගේම මිල අඩුවෙද්දිත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. නමුත් මේකෙ වාසිය අපි කියන්නේ, පාරිභෝගිකයාට දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඍජුවම ආනයනය කරන්න නොදී අපට වැඩි වාසියක් පාරිභෝගිකයාට ලබාදෙන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනවා. පහුගිය සුමානය දිහා බැලුවහම සීනි කිලෝවක් රු 25 – 30කින් වගේ අඩුවුණා. පරිප්පු අඩුවුණා. අල, ලූනු මිල පහළට ගියා. ඒ නිසා අපි හිතන්නේ උත්සව සමයේ මිල මේ සති කිහිපය තුළ අඩුවෙලා පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවට ලබා ගන්න පුළුවන් වෙයි කියලා.”