
මහේෂි මධුෂංකා
ඉතින් කොහොමද ජීවිතය?
සුවෙන් සතුටින් දරුවන් දෙදෙනාගේ ආදරයත් සමඟින් කාලය ගත කරනවා. මේ දවස්වල “මැස්සා” නමින් ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා ස්වර්ණවාහිනියේ. තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදී ඒවාත් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අදහස් කරගෙන සිටිනවා.
අද අපේ රටේ පවතින ආර්ථිකයත් සමඟ රංගන ජීවිතයෙන් ලැබෙන වේතනය කලාකාරිනියක් විධියට ජීවත් වීමට ප්‍රමාණවත්ද?
වෘත්තීය රංගන ශිල්පිනියකට ඉතා අපහසුයි රංගනයෙන් ලැබෙන වේතනයෙන් ජීවත් වෙන්න. මේ අතරතුර වෙළෙඳ දැන්වීම් ලැබුණොත් යම් තරමකට ප්‍රමාණවත්. නමුත් එයත් නිරන්තරවම ලැබෙන්නේ නැහැ. මම එළියට යන නිසා දන්නවා.
අපේ රටේ හැම දෙයක්ම ඉතා අධික මුදලකට ගන්න වෙලා තිබෙනවා. හරිම අමාරුයි. මම විවාහක නිසා යම් තරමකට Balance කරගැනීමේ හැකියාව තිබෙනවා.

ඔබ රංගනයට පිවිසියේ කෙසේද?
සුනිල් ටී. මහතා නිෂ්පාදනය කළ සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු “ජීවිතය ලස්සනයි” චිත්‍රපටයෙනුයි. නමුත් චිත්‍රපටය තිරගත වීමට පෙර ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගෙන්.
අමිල අබේසේකරයන් සමඟිනුයි ප්‍රථමයෙන් ටෙලි නාට්‍යයක රංගනයේ යෙදුණේ. ඒ ගමන තමයි මේ වනතුරු යන්නේ.
ඔබ මෙතෙක් දායක වුණු නිර්මාණ පිළිබඳව සෑහීමකට පත් වනවාද?
දායක වූ නිර්මාණ බොහොමයක් තිබෙනවා. නමුත් මට හිතෙනවා සමහර තැන්වලදී මට ඊට වඩා යමක් කරන්න තිබුණා කියලා. මම වැඩි වශයෙන් රංගනයේ යෙදුණේ මෙගා ටෙලි නාට්‍යයන්වලයි.
නමුත් අධ්‍යක්ෂවරයකුට පුළුවන් අපිව ඕනෑම පරාසයක් තුළ මෙහෙයවන්න. මේ කාලය තුළ ඒකාංගික ටෙලි නාට්‍ය පැත්තට යන්නට හැකි වූයේ නැහැ මට. නමුත් අනෙකුත් නිර්මාණ පිළිබඳව මම අතිශයින් සතුටු වෙනවා මම ඒවාට හොඳ සාධාරණයක් කළා කියලා.
මෙගා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ “නිර්මාණාත්මක බවක් එළියට එන්නේ නැහැ. ශ්‍රමය සූරාකෑමක් දක්නට තිබෙනවා” යනුවෙන් විවිධ මත දැක්වෙනවා නේද?
ගොඩක් වෙලාවට හරි කෙනාට හරි දේ ලබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ක්‍ෂේත්‍රය පිළිබඳවත් නොදන්නා අය අධ්‍යක්ෂණයට එනවා අඩු මුදලට.
ඒ චරිතයට ගැළපෙන රංගන ශිල්පිනියගේ අයකිරීම වැඩි නම් එයාව අයින් කරලා අඩු මුදලකට වෙන කෙනෙක්ව ගන්නවා. මෙන්න මෙවැනි කාරණා නිසායි හොඳ නිර්මාණ කියන ඒවා දකින්න නැත්තේ

සිනමාව පිළිබඳව ඔබට තිබෙන්නේ කුමන අදහසක්ද?
ලංකාවේ Filmsවලට වියදම් කළාට ඉන්දියාවේ වගේ ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් අප රටේ තිරගත වන චිත්‍රපට ගත්තම ඒවා ඉතාමත් උසස් මට්ටමේ තිබෙනවා.
නමුත් අපි වියදම් කරන තරමට අපිට ලාභ ලබන්න බැරි වෙලා තිබෙනවා එයින්. රටේ තිබෙන තත්ත්වයන් සමඟ මිනිසුන් බොහෝ සේ සිනමාහල්වලින් අෑත් වෙලා තිබෙනවා.
අද ජීවත් වීමත් එක්තරා කලාවකට කරන්න වෙලා තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස?
අද අපිට ජීවත් වීම ඉතා අපහසු වෙලා තිබෙනවා. එළියට ගියාම දරාගන්න බැරි තරම් බඩු මිල ගණන්. ගොඩාක් අවශ්‍ය දේවල් අතහැර අත්‍යවශ්‍යම දේ පමණක් මිලට ගන්න පුරුදු වෙලා. සමහර මිනිස්සු එළවළු ගණන් කරලා ගේන්නේ. අපේ රටේ Tax ගෙවලත් සහනයක් නැහැ.
ඒත් පිටරටවල දරුවන්ට තිබෙන තත්ත්වය අපේ රටේ දරුවන්ට නැහැ. ලංකාවේ මිනිස්සු කොච්චර පවුද කියල හිතෙනවා ඒව දැක්කම. ගොඩක් දෙනෙක් ජීවිතය අතහැරලා වගෙයි ජීවත් වෙන්නේ.

ඔබ යම්කිසි රාමුවක් තුළ සිටද නිර්මාණකරණයට පිවිසෙන්නේ?
මට ලැබුණු නිර්මාණ ඒකාකාරිද කියලත් මට වෙලාවකට හිතෙනවා. ප්‍රේක්ෂකයන් මාව දකින්න කැමති මොන විධියටද කියලා මම දන්නේ නැහැ. මට හිතෙනවා වෙලාවකට මීට වඩා දෙයක් මට කරන්න තිබුණා නේද කියලා.
මේක ඉතාමත් ගෞරවනීය වෘත්තියක්. හරියට කළොත් මුදලට ගත නොහැකි ගොඩක් දේවල් මේ තුළින් ලැබෙනවා.
ඔබේ පවුල ගැන දැනගැනීමට කැමැතියි?
මගේ මහත්තයා සම්පත්, ඔහු වෘත්තියෙන් Sri Lankan Airlinesහි සේවය කරන්නේ. දුව චෙනුලි, පුතා තෙනුල් සහ මගේ අම්මත් ඉන්නවා අපිත් එක්ක. දරු සුරතල් හොඳින් බලමින් ගෙවෙන කාලයක් මේක.
පවුලෙන් ඔබට ලැබෙන සහයෝගය?
අද ගොඩාක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි divorce කියන්නේ. මට මාව තේරුම් ගත්තු හොඳ husband කෙනෙක් ඉන්නවා. ඒ කාලේ ඉඳන්ම මම රංගන ශිල්පීන්ට ආදරය කළේ නැහැ. කැමැත්තක් ඇති වුණත් මම මා තුළින්ම ඒක අයින් කර ගත්තා.
මගේ මහත්තයා මට හොඳ යාළුවෙක් වගෙයි. උගත් බුද්ධිමත් ඉතාම ගුණ යහපත් කෙනෙක් ඔහු. ඉතින් ඒ නිසා මට වෙනත් ආදරයක් හෝ වෙනත් කෙනෙක් ගැන මොහොතකටවත් හිතන්න ඕනෑකමක් නැහැ. ඉතින් ඒ නිසා උපරිම සහයෝගය මට පවුල තුළින් ලැබෙනවා.

එක්තරා නත්තල් සාදයකට සහභාගි වීම නිසා ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් ඔබට වාරණයක් දැම්මලු නේද?
ඔව්. ඒක හරිම කනගාටුදායක සිදුවීමක්. මට එක්තරා ප්‍රධාන පෞද්ගලික රූපවාහිනි නාළිකාවක නත්තල් සාදයට ආරාධනා කොට තිබුණා. ඒ අතරතුර මම Youtube නාළිකාවකින් සංවිධානය කර තිබූ නත්තල් සාදයකටත් ගියා.
ඒ සිදුවීම හේතු කොටගෙන මම කලින් සඳහන් කරපු රූපවාහිනි නාළිකාව මට ඔවුන්ගේ නත්තල් සාදයට නොපැමිණෙන ලෙස දන්වා සිටියා. නමුත් මම ඒ වන විටත් එයට යෑමට සූදානම්වයි සිටියේ.
අපි කලාකරුවෝ, අපි ස්වාධීනයි. ඕනෑම අවස්ථාවකට සහභාගි වෙන්න අපට පුළුවන්. මේ සිදුවීම අතිශය වේදනාකාරී සහ පිළිකුල් සහගත බවයි මගේ හැඟීම.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
හොඳ රටකට යන්න තමා බලන්නේ. දරුවන්ට අනාගතයක් නැහැ මේ රටේ ඉඳලා. ඒත් මගේ මහත්තයා කැමැති නෑ මේ රට දාලා යන්න. හොඳ තීරණයක් ඉදිරියේදී ගන්නවා.
තනූජා සුභාෂිණී සිරිවර්ධන
උපුටාගැනීම මව්බිම
හදගැස්ම අතිරේකයෙනි
