හොකී තරුව මහ බැංකු අධිපති වේවිද?

ශ්‍රී ලංකාව වගේ රටක තරුණියන් වැඩි වශයෙන් යොමු නොවෙන ක්‍රීඩාවක් තමයි හොකී කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව හොකී ටිකක් දරුණු ක්‍රීඩාවක්
වීම. ඒ වගේම මහන්සි වෙන්න සිදු වන ක්‍රීඩාවක්. නමුත් අද ‘pink’ කතාබහ එක්ක එකතු වෙන්නේ හොකී තමන්ගෙ ජීවිතය කරගත් සුරූපී තරුණියක් පිළිබඳවයි. ඇය සරසවි සිසුවියක් වගේම දක්ෂ හොකී ක්‍රීඩිකාවක්. විශාකා විද්‍යාලයෙන් හොකීවලට යොමු වුණු ඇය
නමින් දෙව්මිණී කවින්දි වීරසිංහ.

දෙව්මිණී හොකීවලට යොමු වෙන්නේ කොයි කාලෙද?

මම 2013දී තමයි හොකීවලට යොමු වෙන්නේ. එතකොට මම පාසලේ 7 ශ්‍රේණියේ. මම ගියෙ විශාකා විදුහලට. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙදි මම නියෝජනය කරපු නිවාසයට තමයි මුලින්ම මම හොකී ගැහුවෙ. අපි ඒකෙන් ජයග්‍රහණය කළා. ඉන් පස්සෙ දිගටම පාසල් හොකී කණ්ඩායමට මම ක්‍රීඩා කළා.

මේ ක්‍රීඩාව නිසා ඔයා ලබපු ජයග්‍රහණ මොනවද?

මම 7 වසරෙදි හොකී ගහන්න පටන් ගත්ත එකේ ඉඳලා පාසලෙන් ඉවත් වෙනතුරුම, ඒ කියන්නේ 13 වසර දක්වාම මම පාසල්
හොකී කණ්ඩායමට ක්‍රීඩා කළා. 2013- 2020 දක්වාම මම හිටියෙ හොකී එක්ක. ඒ කාලයේ තිබුණු හැම තරගාවලියකටම
මම ක්‍රීඩා කළා. හොකී ක්‍රීඩාව සෑම පාසලකටම නැති නිසා අපි කෙළින්ම යන්නේ පළාත් මට්ටමේ තරගවලට. 2014දී බස්නාහිර පළාත් අවුරුදු 14න් පහළ කාන්තා හොකී තරගාවලියේදී විවෘත අංශයේ දක්ෂතා වෙනුවෙන් මට සහතිකයක් ලැබුණා. ඒ අතර මම ලබපු සුවිශේෂම ජයග්‍රහණය තමයි මට අවුරුදු14දි පාසලේ 19න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කරන්න ලැබීම.

19න් පහළ කණ්ඩායම සමඟ බස්නාහිර පළාත් 19න් පහළ කාන්තා හොකී 2 වැනි ස්ථානයත්, සමස්ත ලංකා 19න් පහළ
කාන්තා හොකී තරගාවලියේදී 2 වැනි ස්ථානයත් දිනා ගන්න පුළුවන් වුණා. මට පොඩි වයසෙදිම අවුරුදු 19න් පහළ
කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම මම ලබපු ලොකු භාග්‍යයක්. ඒකෙන් තමයි මට මගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට හැකියාව
ලැබුණේ. 2015දීත් තිබුණු සියලු 19න් පහළ හොකී තරගාවලිවල මම ක්‍රීඩා කළා. 2018දි ‘සීනියර් නැෂනල් හොකී චැම්පියන්ෂිප්’

කියලා එකක් තිබුණා. ඒකට මුළු ලංකාවෙන්ම අවුරුදු 21න් පහළ ළමයි 18ක් තෝරා ගත්තා. අපේ පාසලෙන් ළමයි දෙන්නෙක් තේරුණා. ඉන් එක්කෙනෙක් මම. ඒ වසරෙදිම පාසල් ජාතික හොකී තරගවගටත් ක්‍රීඩා කළා. එහිදී අපි ඒකෙන් තුන්වැනි තැනට පත් වුණා. 2019දි 19න් පහළ ‘විමෙන්ස් ජූනියර් නැෂනල් හොකී’ පූල් එකට මාව තේරුණා. ඒකෙදි ලංකාවෙන් 18ක් තෝරා ගත්තා. අපේ පාසලෙන් තේරුණු හතර දෙනාගෙන් එක්කෙනෙක් මම. ඒ අවුරුද්දෙදිම බස්නාහිර පළාත් 20න් පහළ කාන්තා හොකී තරගාවලියේදී මම නියෝජනය කරපු අපේ පාසල් හොකී කණ්ඩායමට ශූරතාවය දිනා ගන්න හැකියාව ලැබුණා. 2020 වසරේ

මම උසස් පෙළ කළ වසරෙත් තොරා ගැනීමක් තිබුණා, ශ්‍රී ලාකා හොකී සම්මේලනයේ තෝරා ගැනීමේ කමිටුවෙන්. 21න් පහළ හොකී තරගාවලියකට. එහි අවසන් 35 අතරට මම තේරුණා. ඒවා තමයි මම මේ වනතුරු ලැබූ ජයග්‍රහණ.

දිගටම හොකී එක්ක ඉන්න එකෙන් පාසල් අධාපනයට බාධාවක් වුණේ නැද්ද?

ඉගෙනීම අතපසු කර ගත්තෙ නෑ මම. විභාග තිබුණා කියල, පාසල් ගියා, පන්ති තිබුණා කියලා මම හොකී අතහැර ගත්තෙත් නෑ. සඳුදා විභාගය තියෙද්දිත් මම ඉරිදා තරග ක්‍රීඩා කළා. 2017දි මම සාමාන්‍ය පෙළ කළේ. සාමාන්‍ය පෙළට මම ‘ඒ’ 8යි බී’ 1යි අරගෙන ඉහළින්ම සමත් වුණා. මම විශ්වාස කරන්නේ මම පොතේම ඉන්නෙ නැතිව ක්‍රීඩාවත් එක්කත් සිටි නිසා තමයි මේ විදියෙ ප්‍රථිපලයක් ගන්න මට පුළුවන් වුණේ කියලා. 2020 මම වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා ‘ඒ’ 3ක් අරන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයටත් ඇතුළු වුණා. හොකී කියන්නේ කොහෙත්ම මගෙ ඉගෙනීමට බාධා කළ ක්‍රීඩාවක් නෙවෙයි.

මේ වෙනකොට ඔයා සෙල්ලම් කරන්නේ මොන කණ්ඩායමටද?

දැන් මම කැම්පස් එකේ හොකී කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

හොකීවලට යොමු වීම නිසා ජීවිතයට ලැබුණු දේවල් මොනවාද?

ඇත්තටම අනෙක් ක්‍රීඩා එක්ක බැලුවොත් හොකී කියන්නේ, වර්තමානයේ ජීවිතයට තියෙන ප්‍රශ්න හා අභියෝග වගේ
දේවල්වලදි ඉතා ප්‍රයෝජනවත් වන ක්‍රීඩාවක්. මම එහෙම කියන්නේ ඒකල ක්‍රීඩාවලට වඩා කණ්ඩායම් ක්‍රීඩාවකට යොමු වීම හොඳ නිසාමත් නෙවෙයි. ළමයෙක් අනිවාර්යයෙන් කණ්ඩායම් ක්‍රීඩාවකට යොමු විය යුතුයි. ඒකත් හොකී වගේ තැනට සුදුසු තීරණය ක්ෂණයකින් ගන්න උගන්වන ක්‍රීඩාවකට. හොකී කියන්නේ ක්ෂණික තීරණ ගන්න උගන්වන ක්‍රීඩාවක්. ජීවිතයේ යම් අවස්ථාවන් එනවා අපට කාගෙවත් උදව් නැතිව ඉක්මණින් එවැනි හදිසි සහ නිවැරදි තීරණවලට එළැඹීමට සිදුවන. ඒ වගේ වෙලාවකදි මම හිතනවා මට හොකී ගොඩක් උපකාරී වුණා කියලා.

හොකී කියන්නේ ගැහැනු ළමයි වැඩිපුර යොමු නොවෙන ක්‍රීඩාවක් නේද?

ඔව්. හොකී කියන්නේ මටසිලුටු සෙල්ලමක් නෙවෙයි. ටිකක් දරුණු ක්‍රීඩාවක්. ඒකට ශක්තිය හා දරා ගැනීම අත්‍යවශ්‍යයි. මම
අත්, කකුල් කඩාගෙන සෙල්ලම් කරලා තියෙනවා. එක පාරක් කකුලේ ආබාධයක් තියාගෙන මම ක්‍රීඩා කළා. ක්‍රීඩා පිටියෙ
ඉන්නකොටත් මගෙ දණහිස පනිනවා. හොකීවලට තියෙන ආදරයත්, පාසලට තියෙන ගෞරවයත් වෙනුවෙන් මම දණහිස හද හදා සෙල්ලම් කළා මතකයි. ඔළුව පැළිලා එළියට ගිහින් ඒක බැන්ඩේජ් කරගෙන අපි සෙල්ලම් කළා. ඒ වගේ කටුක අවස්ථාවන්ට මුහුණ දුන්නම දැන් ජීවිතට පහසුයි. මම අඬන්නේ, සැලෙන්නේ නෑ. මට මේක කර ගන්න පුළුවන් කියලා තමයි මම හැම වෙලේම හිතන්නේ. ඒකට පන්නරය දුන්නේ හොකී . ගොඩක් අය මේ ක්‍රීඩාවට යොමු නොවෙන්නේ ඔන්න ඔය
දරා ගැනීම නෑ කියලා හිතන නිසයි. ඒත් කාන්තාවන් විදියට අපට ජීවිතයේ ඊට වඩා දේවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවාට
පෙර පුහුණුවක් හොකී වගේ ක්‍රීඩාවන්.

ඕනෑ තරම් කණ්ඩායම් ක්‍රීඩා තියෙද්දි ඔයා ඇයි හොකී තෝරා ගත්තෙ?

මම නම් කියන්නේ වෙන ක්‍රීඩා වගේ නෙවෙයි, ගැහැනු ළමයි හොකී ක්‍රීඩා නොකරන එක අපරාධයක්. හොකී දරුණුයි, ගෑනු ළමයින්ගෙ අතපය තුවාල වෙනවා, කවුරුත් යන්න එපා, ඕවා කොල්ලො කරන සෙල්ලම් කියලා තමයි ගොඩක් අය කියන්නේ. මගේ අතින් මේ ළඟඳිත් ළමයෙක්ට තුවාල වුණා. ඒවා දැක්කම හොකී ගහන අයත් බය වෙනවා. හැබැයි මම කියන්නේ ඒ මොන දේ වුණත් ගැහැනු, පිරිමි භේදයක් නෑ. හොකී කියන්නේ හොඳ ක්‍රීඩාවක්. නොහිතන වෙලාවලදි ලැබෙන පහරවල් නිසායි ගැහැනු ළමයි හොකීවලට බය. ඒත් එයින් ජීවිතයට ගන්න පුළුවන් දේවල් වැඩියි. මමත් මුලින්ම බැඩ්මින්ටන් තමයි පටන්ගත්තෙ. ගැහැනු ළමයෙක්ගෙන් ඔයා යන ක්‍රීඩාව මොකක්ද කියලා ඇහුවොත් හැමෝම කියන්නේ බැඩ්මින්ටන් කියලා. ඒ අය හිතන්නේ මලකින් ගහන්න තියෙන නිසා ඒක හරි ලේසියි කියලා. කැම්පස් ළමයි වුණත් එහෙමයි කියන්නේ. මමත් ක්‍රීඩා
කරද්දි තමයි හිතුණෙ තනි ක්‍රීඩාවකට වඩා කණ්ඩායම් ක්‍රීඩාවකටයි යන්න් ඕනෑ කියලා. බාස්කට් බෝල් වගේ ඒවට නොගිහින් මම හොකීවලට ගියෙ ගොඩක් අය එන්නෙ නැති නිසාමයි. මගෙ යාළුවොත් කිව්වා හොකී කරමු කියලා.

ඔයාගෙ හොකී ගුරුවරයා කවුද?


ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙන් වන අනුරුද්ධ බණ්ඩාර හේරත් සර් තමයි මාව හොකීවලට ගෙනාවෙ. සර්තමයි හැම දේකටම පිටුපසින් සිටියෙ. ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි, අධ්‍යාපනය එක්ක ක්‍රීඩාව බැලන්ස් කර ගන්නේ කොහොමද
කියලා සර් හැම වෙලේම කියා දුන්නා. මගේ ජීවිතයේ අදහන ගුරුවරයෙක් තමයි ඒ.

සර්ට අමතරව කවුද මේවාට උදව් කළේ?

මගේ අම්මයි, තාත්තයි, අයියයි මතක් කරන්න ඕනෑ. විශේෂයෙන්ම අම්මා තමයි මගේ පස්සෙන්ම හිටියෙ. මාත් එක්ක හැම
තරගයකටම අම්මා ආවා. ඒ අයගෙ උදව් සමානව ලැබුණෙ නැතිනම් මට මේ තැනට එන්න බෑ.

හොකී ක්‍රීඩිකාවක් ලෙස ආපු ගමනෙදි එල්ල වුණු බාධා මොනවද?

ඇත්තටම බාධාවන් නම් එල්ල වුණේම නැති තරම්. තාත්තා නම් පොඩ්ඩක් කැමැති නැහැ තුවාල වෙන නිසා. ඒත් තාත්තත් මට
ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කියලා නෑ. හැකි උපරිම සහාය දෙනවා.

ඔයාගෙ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගෙ අනාගත බලාපොරොත්තුව මහ බැංකු අධිපති වෙන එක . ඒ ගිහිල්ල මහ බැංකුවෙත් හොකී කණ්ඩායමක් හදන්න
ඕනෑ. ඒ වගේම හොකීවලට ගොඩක් වියදම් කරලා බඩු ගන්න වෙනවා. හැම පාසලකම හොකී නැත්තෙ ඒකයි. මම ඉදිරියේදී හොඳ තැනකට ආවොත් මම අනිවාර්යයෙන්ම සියලු පාසල්වල හොකී කණ්ඩායම් ඇති කරලා හොකී දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හොකී තමයි මගේ ජීවිතේ.

ක්‍රීඩාවලට යොමු වෙන අයට දෙන්න තියෙන උපදෙස මොකක්ද?

මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලා ක්‍රීඩාවක් තෝරා ගන්නවා නම් අනිවාර්යයෙන් කණ්ඩායම් ක්‍රීඩාවක්
තෝරා ගන්න. ඒකෙන් අනෙක් කෙනා ගැන හිතන්න අපි පුරුදු වෙනවා. ඒ අතින් ගැහැනු, පිරිමි ඕනෑම කෙනෙකුට ඉතාම හොඳ ක්‍රීඩාවත් හොකී. එකපාරක් සෙල්ලම් කළොත් ඕගොල්ල නිකන්ම මේකට ආසා වෙයි.

දහම්සා විජයතිල