හැරීටත් මේගන්ටත් ටිකට් කැපෙන ලකුණු

නෙට්ෆ්ලික්ස් හි ආරම්භ වූ හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ වාර්තාමය වැඩසටහන හේතුවෙන් ඔවුන් දෙදෙනා ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වුවහොත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය හැකි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ.
ඔවුන් දෙදෙනා පිළිබඳ පැවති සමීක්ෂණයකදී සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන් මාකල්ගේ රාජකීය පදවි නාමයන් ඔවුන්ගෙන් ඉවත් කළ යුතු යැයි විශ්වාස කරන බව සඳහන් කර සිටියේය. එසේම හැරී කුමරු බ්‍රිතාන්‍යයේ රජකම ලබා ගැනීම සඳහා අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලකීම නොකළ යුතු බවටත්, ඔවුන්ට රාජාභිෂේකයට සහභාගී වීම තහනම් කළ යුතු බවත් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 42%ක් පමණ විශ්වාස කරන බවත් මාධ්‍ය පෙන්වා දී තිබේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් මේ අවස්ථාවට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් තවදුරටත් සඳහන් කරයි.