හරක් කටා ඇතුළු පිරිස මුදාගැනීමට පාකිස්තාන ජාවාරම්කරුවන් සැරසෙයි

නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සහ සලිඳු මල්ශික නොහොත් “කුඩු සලිඳු” යන මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩගස්කරයේ සිට මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීමට මෙරට රජය තීරණය කර ඇත.

මෙම පිරිස මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත තබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඊයේ (7) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් දී ඇත.

හරක් කටා ඇතුළු පිරිස මැලේසියාවට යාමේ අදහසින් මැඩගස්කරයට පැමිණි බව දැනට කෙරෙන විමර්ශනවලදී හෙළි වී ඇත. මැලේසියාවට පැන ගොස් යුරෝපයට හෝ වෙනත් රටකට පැන යාම ඔවුන්ගේ සැලසුම බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්කුඩු ජාවාරමුන් හා පාතාල නායකයන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මඟින් මෙරටට භාර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව පැවසේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් පිරිස මැඩගස්කරයේ ආරක්ෂක අංශ වෙත මුදල් ගෙවා මුදාගැනීම සඳහා පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඊයේ (7) දිනයේදී වැඩපිළිවෙළ රාශියක්ම ගෙන ඇති බව ද හෙළි වේ. මේ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන තුනක් ඩුබායි සිට මැඩගස්කරය වෙත යවා ඇතැයි ද, ප්‍රංශයේ සිට නීතිඥවරයකු ද පිටත් කර යවා ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ඊයේ (7දා) වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මැඩගස්කරයට යවා මෙම පිරිස මෙරටට ගෙන ඒම සම්බන්ධව ද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කිහිපදෙනකු ද යැවීමට තීරණය වී ඇත.

මේ අතර ඩුබායිහි සිටින ජාවාරම්කරුවන් වෙනත් රටවලට පැන යෑමේ සැලසුමක් ද ඇති බව ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.

නඳුන් චින්තක හෙවත් හරක් කටා නමින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ ද ඔහු රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇතැයි ද ජාත්‍යන්තර පොලිසියේ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීමට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.