සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලය කියයි

මහා භාණ්ඩාගාරයෙන් සුවසැරිය ගිලන් රථ සේවාවට වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන හතරකට ආසන්න මුදල නොලැබීම නිසා එම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කරයි.
සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් මෙම ගිලන් රථ සේවාව සඳහා රුපියල් බිලියන තුනයි දශම දෙකක් ලබා දුන්නද, මෙවර මහා භාණ්ඩාගාරය වෙන් කර ඇත්තේ රුපියල් බිලියන දෙකයි දශම පහකි. එම මුදලින් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන එකයි දශම දෙකක් වාර්ෂිකව වැය වෙන බව අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහසයි.
ගිලන් රථ අලුත්වැඩියාව, ටයර් සහ අනෙකුත් උපංග සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයකට වැඩි මුදලක් වැය වන බව සඳහන්.
මෙම ගිලන් රථ සේවාව ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණේ යහපාලන රජය සමයේදීය. එය ආරම්භ කළේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සහ එවකට ඇමතිවරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා සහ රාජිත සේනාරත්නගේ මූලිකත්වයෙනි.
දිවයින පුරා සුවසැරිය ගිලන් රථ දෙසිය හැත්තෑ නවයක් ක්‍රියාත්මක වන අතර දිනකට හදිසි අවස්ථාවන් 1050 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ගිලන් රථ පිටත් කර යවයි.
එක් ගිලන් රථයක වසරක නඩත්තු මුදල රුපියල් ලක්ෂ පනහකි. මේ නිසා අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ ගිලන් රථ නඩත්තුවට පෞද්ගලික අංශයෙන් සහ පුද්ගලයන්ගේ සහය ලබා ගැනීමටය.
මාර්තු මාසය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දිය යුතු මුදල ඊයේ (29) වන විටත් අධ්‍යක්ෂ මණ්ඩලයට නෙැලැබුණු බවයි වාර්තා වන්නේ.